බොරැල්ල මැගසින් බන්ධනාගාර භූමියට පාර්සල් කර විසිකිරීම සඳහා සූදානම් කර තිබූ ජංගම දුරකථන බැටරි, චාජර් ඇතුළු උපකරණ රැසක් සමග පුද්ගලයන් සිවුදෙනෙකු ඊයේ (28දා) බොරැල්ල සීවලී පටුමග ප්‍රදේශයේදී අත්ඩංගුවට ගත් බව බොරැල්ල පොලීසිය පවසයි.

අදාළ සැකකරුවන්ගේ නිවෙස්වල සගවා තිබූ ජංගම දුරකථන අටක්, චාජර් 21, බැටරි 119, හැන්ඩි ෆ්‍රී 3, මාවා ග්‍රෑම් 136, දුම්කොළ 12, හුණු මුල් 2, සුවඳ විලවුන් වර්ග, ඖෂධ විශාල තොගයක් පොලීසිය භාරයට ගෙන ඇත.
පසුගිය 26 වනදා පෙරවරුවේ පාර්සල් කර විසි කරන ලද ජංගම දුරකථනයක්, අයිස් මත්ද්‍රව්‍ය, බැටරියක්, දුම්කොළයක් හා හෙරොයින් මත්කුඩු අඩංගු පාර්සලයක් තාප්පය හා වැට අතර වැටී තිබී හමුවීමෙන් පසු සිදුකළ සෝදිසි මෙහෙයුමේදී බන්ධනාගාරය තුළට රැගෙන යාමට තහනම් භාණ්ඩ රැසක් සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරීන්ද පැවසීය.


දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බවත්, පිටස්තර ප්‍රදේශවලින් මේ ආකාරයෙන් තහනම් ද්‍රව්‍ය බන්ධනාගාර තාප්පයෙන් විසිකිරීම සඳහා මෙම පුද්ගලයන් ඉඩ ලබා නොදෙන බව ප්‍රශ්න කිරීමේදී හෙළි වූ බවත් පොලිස් නිලධාරියෙකු පැවසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බොරැල්ල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය මහතා මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ පවත්වයි.

බිමල් ශ්‍යාමන් ජයසිංහ