තුරු කැරොලිනාවේ 40,000ක ජනගහනයක් ජීවත් වන වේක් ෆොරස්ට්හී Covid-19 රෝග ලක්ෂණ පිළිබඳව සිදු කරන ලද සමීක්ෂණයකින් ජනවාර්ගික බෙදීමක් පිළිබඳව විස්මයජනක හෙළිදරව්වක් සිදු වී තිබේ.මෙම සමීක්ෂණයට සහභාගි වූ වේක් ෆොරස්ට්හි වෙසෙන ලතින් ඇමරිකානු සම්භවයක් ඇති ස්පාඤ්ඤ භාෂාව කතා කරන පුද්ගලයන්ගෙන් තුනෙන් එකක්ම
කොරෝනා වෛරසය හා බැඳි රෝග ලක්ෂණ කිහිපයකින් පසු වන බව හෙළි විය.
ව්‍යාපාර සමීක්ෂණ ආයතනයක් විසින් සිදු කරන ලද මෙම සමීක්ෂණය සැලකෙන්නේ වෛරසයේ ලක්ෂණ මැන බැලීම සඳහා සිදු කර තිබෙන විශාලතම සමීක්ෂණය ලෙසය. වියළි කැස්සේ සිට හුස්ම ගැනීමේ අපහසුතාවය දක්වා රෝග ලක්ෂණ ඔබේ නිවසේ සිටින කා තුළ හෝ දක්නට ලැබේද? කියා මෙම සමීක්ෂණයේදී අසන ලද ප්‍රශ්නයට මාර්තු මස සිට මිලියන 1.6ක ජනගහනයක් පිළිතුරු සපයා තිබේ.

USA TODAY දත්ත විශ්ලේෂණ මගින් සොයාගෙන ඇති පරිදි Covid-19 රෝග ලක්ෂණ එනම් වෛරසය හේතුවෙන් ඇති වන පෙනහළු ආබාධය තිබෙන බවට පැවසූ ලතින් ඇමරිකානු සම්භවයක් සහිත ස්පාඤ්ඤ භාෂාව කතා කරන පුද්ගලයන්ගේ සංඛ්‍යාව, එම රෝග ලක්ෂණ ඇති බව පිළිතුරු දුන් වෙනත් පුද්ගලයන්ට වඩා තුන් ගුණයකින් වැඩිය.

රෝග පාලනය සහ වැළැක්වීම පිළිබඳ ආයතන විසින් වඩාත් බරපතළ රෝග ලක්ෂණ යුගළයන් ලෙස මෑතකදී හඳුනාගත් වියළි කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතාවය හෝ උණ සහ කෑම පිරිය හා සුවඳ නොදැනී යෑම ගත් කළ ස්පාඤ්ඤ භාෂාව කතා කරන මෙම පුද්ගලයන් තුළ එම රෝග ලක්ෂණ වෙනත් පුද්ගලයන්ට වඩා දෙගුණයකින් දක්නට ලැබීය.
මාර්තු මාසයේ අග සිට මැයි මාසයේ අග දක්වා අඩුම තරමින් තම නිවසේ සිටින එක් පුද්ගලයෙකුවත් මෙම රෝග ලක්ෂණ කිහිපයක් අත්දුටු බව සෑම ස්පාඤ්ඤ භාෂාව කතා කරන පුද්ගලයන් 12කගෙන් එක් අයෙක්ම පැවසීය.
“ලතින් ඇමරිකානු සම්භවයක් තිබෙන බොහෝ පුද්ගලයන් සෘජුවම පාරිභෝගිකයන් සමඟ ගනුදෙනු කළ යුතු හෝ යම් නිෂ්පාදනයක් සිදු කළ යුතු රැකියාවල නිරත වන අතර එම රැකියා නිවසේ සිට සිදු කළ නොහැකි වීම” ඔවුන් වැඩි පිරිසක් තුළ රෝග ලක්ෂණ පහළ වීමට එක් හේතුවක් වන අතර තවත් හේතුද තිබෙන බව UnidosUS ලෙස හඳුන්වන ලතින් ඇමරිකානු සම්භවයක් ඇත්තන්ගේ විශාලතම ලාභ නොලබන උපදේශන කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති ක්ලැරිසා මාටිනස් ඩි කාස්ට්‍රෝ පැවසීය.

USA TODAY දත්ත විශ්ලේෂණ මගින් සොයාගැනුනේ ජාතිය සහ ජනවර්ගය වෙන් වන ප්‍රාන්ත 33ක් තුළ කො‍රෝනා වෛරසය වැළඳී ඇතැයි සහතික කරන ලද පුද්ගලයන් සංඛ්‍යාව සමඟ ලතින් ඇමරිකානු සම්භවයක් සහිත ස්පාඤ්ඤ භාෂාව කතා කරන්නන් අතර කොරෝනා වැළඳී ඇතැයි සැලකෙන සංඛ්‍යාව සැසඳූ විට දක්නට ලැබෙන සංඛ්‍යාත්මක පරතරයට වඩා වැඩි පරතරයක් රෝග ලක්ෂණ පිළිබඳ දත්ත සැසඳූ විට දක්නට ලැබෙන බවය.
වේක් ෆොරස්ට් ප්‍රදේශයේද මෙය සත්‍යයක් බවට පත් විය. එම ප්‍රදේශයේ සහ ප්‍රාන්තය පුරාවට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි සහතික කරන ලද පුද්ගලයන්ගේ සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් තුළ රෝග ලක්ෂණ පවතින බව එම ප්‍රදේශයෙන් වාර්තා විය. වේක් ප්‍රදේශයේ මාධ්‍ය ප්‍රකාශිකා ලීහ් හෝල්ඩ්‍රන් පැවසූ පරිදි එම ප්‍රදේශයේ සහ උතුරු කැරොලිනාවේ පදිංචිකරුවන්ගෙන් දළ වශයෙන් ගත් කල දහයෙන් එකක්ම ලතින් ඇමරිකානු සම්භවයක් සහිත ස්පාඤ්ඤ භාෂාව කතා කරන පුද්ගලයන්ය. නමුත් එම ප්‍රදේශයේ ලතින් ඇමරිකානු සම්භවයක් ඇති තැනැත්තන් අතරින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව එම ප්‍රදේශයේ මුළු ආසාදිතයන්ගෙන් හතරෙන් එකක්ය. එය අයත් ප්‍රාන්තය පුරා වාර්තාගත ආසාදිතයන් අතරින් මෙම පුද්ගලයන් සිටින්නේ තුනෙන් එකක්ය.

“අපේ ජන වර්ගයට අයත් ආසාදිතයන් හමු වෙද්දී මං පැහැදිලිවම දකින කාරණයක් තමයි ඔවුන් නිරත වන රැකියාව හේතුවෙන් ඔවුන්ට සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම අපහසු බව” කියා වේක් ප්‍රදේශයේ හදිසි වෛද්‍ය සේවා අධ්‍යක්ෂක ජෝස් කැබැනාස් පවසයි. “භාෂාව හේතුවෙන් පැනවී තිබෙන බාධාකය, විශාල පවුල්වලට සැපයීමට සිදු වීම වැනි කරුණු හේතුවෙන් නිල වශයෙන් නිකුත් කරන මඟ පෙන්වීම් පිළිපැදීමේ අපහසුතාවක්ද ඔවුන්ට තිබේ.”
මහජන සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ මෙම සමීක්ෂණය මගින් නව කොරෝනා වෛරසයේ සැඟවුණු ව්‍යාප්තියක් පිළිබඳව හෙළි වූ බවය. වෛරසය ආසාදනය වී තිබෙන සැබෑ සංඛ්‍යාව පිළිබඳව පැහැදිලි චිත්‍රයක් ලබාගැනීමට රෝග ලක්ෂණ පිළිබඳ දත්ත උපකාරවත් විය හැකි බව ඔරිගන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ජනවාර්ගික සහ සෞඛ්‍ය සමානාත්මතාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ඩැනියෙල් ලොපෙස් සෙවලොස් පැවසීය.
ලතින් ඇමරිකානු සම්භවයක් ඇති ස්පාඤ්ඤ භාෂාව කතා කරන පුද්ගලයන් තුළ සෞඛ්‍ය පද්ධතීන් පිළිබඳව ඇති වී තිබෙන අවිශ්වාසය හේතුවෙන් ඔවුන් අතරින් අඩු පිරිසක් පරීක්ෂණ සඳහා යොමු වීම, රෝග ලක්ෂණ දක්නට ලැබෙන පුද්ගලයන් සහ තහවුරු කරන ලද ආසාදිතයන්ගේ සංඛ්‍යාව අතර පරතරයක් දක්නට ලැබීමට හේතු විය හැකි බව ඔහු සඳහන් කළේය. මෙවැනි බාධක ‍හේතුවෙන් එම ආසාදිතයන්ට ප්‍රතිකාර අවශ්‍යම අවස්ථාවේදී එම ප්‍රතිකාර ලබා දීම වැළකෙන බව ඔහු තවදුරටත් පැවසීය.

වේක් ෆොරස්ට්හි පදිංචි 12 හැවිරිදි මිකායෙල් ටොරස්, ඔහුගේ දෙමාපියෝ සහ ඔහුගේ 12 හැවිරිදි සොහොයුරිය මේ වන තුරු සෞඛ්‍යසම්පන්නව දිවි ගෙවති. නමුත් මිකායෙල් ජීවත් වන්නේ කනස්සල්ලෙන්ය. එම ප්‍රදේශයේ ජීවත් වන ලතින් ඇමරිකානු සම්භවයක් ඇති බොහෝ පුද්ගලයන් මෙන් ඔහුගේ පවුලටද වසංගතය අතරතුර නිවසේ සිට වැඩ කිරීමේ භාග්‍යය උදා වී න‍ොමැතිය.

වසංගතය හේතුවෙන් මාර්තු මාසයේ මැද වන විට ඔහුගේ පාසැල් ජීවිතයේ අවසාන ජ්‍යෙෂ්ඨ වසර අවලංගු විය. එදිනෙදා කටයුතු සඳහා මුදල් සොයාගැනීමේ අවශ්‍යතාවය මත ඔහු තම පියාගේ පින්තාරු කිරීමේ සහ ඉදි කිරීමේ ව්‍යාපාරයට සහාය වෙයි. කොණ්ඩා මෝස්තර සකසන්නියක් වන ඔහුගේ මව දැනට මාස දෙකක කාලයක් ගෙවා දමන්නේ ආදායම් විරහිතවය.

“උදා වෙන්නේ බරපතළ තත්වයක් කියලා මට තේරුණා. තවදුරටත් උදෑසනින්ම අවදි වී බස් රථයට යෑමට, පාසැලේදී මිතුරන්ව මුණගැසීමට සහ සෑම දිනකම පාසැලෙන් ‍ලැබෙන පැවරුම් ඉටු කිරීමට අවස්ථාවක් නැහැ. දැන් උදෑසනින් අවදි වීමට තිබෙන එකම හේතුව වන්නේ වැඩ කිරීම සහ මගේ පවුලේ සාමාජිකයන්ට සැපයීමට උත්සාහ කිරීමය” කියා ටොරස් අදහස් දැක්වීය.

ඔහු තම පියා සමඟ රැකියාවේ කටයුතු සඳහා ස්ථානයකට පිටත් වන විට හෝ නිවසට අවශ්‍ය දෑ මිල දී ගැනීමට යන විට තමාට වෛරස ආසාදනය වේ යැයි ටොරස් නිතරම බියෙන් පසු වේ. තමා ආසාදනය වේ කියා හෝ තමා මගින් නිවසේ සාමාජිකයන් ආසාදනය වේ යැයි සැක සිතීම හේතුවෙන් ඔහුගේ මව නැවත රැකියාව ආරම්භ කිරීමට බියෙන් පසු ‍වන්නීය.
වේක් ෆොරස්ට්හි දිවි ගෙවන ලතින් ඇමරිකානු සම්භවයක් ඇති ස්පාඤ්ඤ භාෂාව කතා කරන්නන්ට එම ප්‍රදේශයේ සිටින වෙනත් ජන වර්ගවලට අයත් පුද්ගලයන්ට වඩා බරපතළ ලෙස රෝග ලක්ෂණ වාර්තා වී තිබීම ටොරස්ට නම් පුදුමයට කරුණක් නොවේ. “අපිට ඇත්තටම කරන්න කිසි තේරීමක් නැහැ. ලතින් ඇමරිකානු සම්භවයක් තිබෙන බොහෝදෙනෙක් පොතේ පතේ අධ්‍යාපනයක් ලබා නැති අතර ඔවුන් තම දිවි සරි කරගන්නේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වීමෙන්ය. අපට රජයෙන් මුදල් ලබාගන්න බැහැ. කොටින්ම කිව්වොත් අපිට උපකාරයක් ලබාගන්න විදිහක් නැහැ. අප රැකියා සඳහා නිවසින් පිටත් විය යුතුමයි. වෛරසය ආසාදනය වී‍‍මේ අවදානමට මුහුණ දිය යුතුමය” කියා ටොරස් පවසයි.
සමීක්ෂණයට අදාළ දත්ත පෙන්වා දෙන පරිදි එක්සත් ජනපදයේ ව්යෝමිං නම් ප්‍රාන්තය හැරුණුකොට අනෙකුත් සියලුම ප්‍රාන්තවල වාර්තා වූ බරපතළ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නන් අතර ලතින් ඇමරිකානු සම්භවයක් ඇති පුද්ගලයන්ගේ අනුපාතය වැඩිය. සමීක්ෂණය ආරම්භ කිරීමෙන් පසුව තවමත් ලතින් ඇමරිකානු සම්භවයක් ඇත්තන්ගේ අනුපාතය අනෙකුත් අනුපාතවලට වඩා දෙගුණයකින් ඉහළ මට්ටමක පවතියි.
බරපතළ රෝග ලක්ෂණ යුගළයන් දක්නට ලැබූ පුද්ගලයන් නිව් යෝක් නගරය තුළ සහ තවත් ප්‍රධාන නගර තුළ වාර්තා විය. නිව් යෝක් නගරයේ  ආසාදිතයන් අතරින් ලතින් ඇමරිකානු සම්භවයක් සහිත පුද්ගලයන් 22%කට සහ එවැනි සම්භවයක් නොමැති පුද්ගලයන්ගෙන් 11%කට එම බරපතළ රෝග ලක්ෂණ යුගළ පවතින බව හෙළි විය. එහි පුද්ගලයන් 20,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී තිබෙන අතර අඩු ආදායම් ලාභී පුද්ගලයන් ජීවත් වන ප්‍රදේශවල තත්ත්වය වඩාත් අයහපත්ය. උදාහරණයක් ලෙස සෑම පුද්ගලයන් 5 දෙනෙකුගෙන් එක් කෙනෙකුම දරිද්‍රතාවයෙන් පෙළෙන බව සඳහන් බෘක්ලින්හි සෑම පුද්ගලයන් 47 දෙනෙකුගෙන් එක් අයෙකුටම කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.

 ලොපෙස් සෙවලොස් පවසන‍්නේ අත්‍යවශ්‍ය සේවකයන්ගෙන් වැඩි ප්‍රතිශතයකට හිමිකම් කියන්නේ ලතින් ඇමරිකානු සම්භවයක් ඇත්තන් බවය. එම අත්‍යවශ්‍ය සේවාවන්ට සිල්ලර වෙළඳසැල්වල ලිපිකරුවන්, හෝටල් කාර්යමණ්ඩල සහ ආපන ශාලා කෝකීන් අයත් වන අතර ඔවුන් ලබන අඩු වැටුප හේතුවෙන් බොහෝදෙනා දිවි ගෙවන්නේ අඩු ඉඩ පහසුකම් සහිත ස්ථානවලය. මෙම පුද්ගලයන්ගේ පවුල් සාමාන්‍යයෙන් බොහෝ විශාල වීම සහ විස්තෘත පවුල් ක්‍රමය හේතුවෙන් ඔවුන් තුළ ඉහළ රෝග ලක්ෂණ අනුපාතයක් දැක්නට ලැබිය හැකි බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය‍.

සමීක්ෂණයට සහභාගි වූ ලතින් ඇමරිකානු සම්භවක් ඇත්තන්ගේ නිවෙස් අතරින් භාගයකට වැඩි ප්‍රමාණයක සාමාජිකයන් තුන් දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යවක් දිවි ගෙවති.
48 හැවිරිදි අයිරන් සොමරා අරියාසා ජීවත් වන්නේ කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ්වලය. එම පවුලේ තවත් සාමාජිකයෝ හතර දෙනෙක් වෙසෙති. ඒ අවට තිබෙන අල්මේදාවල ලතින් ඇමරිකානු සම්භවයක් ඇති නිවෙස් අතරින් 6.2%ක් තුළ බරපතළ ‍රෝග ලක්ෂණ වාර්තා විය. එය දළ වශයෙන් ලතින් ඇමරිකානු සම්භවයක් නොමැති නිවෙස්වල ආසාදිත සංඛ්‍යාව මෙන් දෙගුණයක්ය.
අරියාසා, ඇගේ දියණිය සහ ආබාධිත සහෝදරයා භාවිත කරන්නේ එකම කාමරයය. අප්‍රියෙල් මාසය තුළදී අරියාසාට තදින් උණ වැළඳුණි. වැඩි දවසක් නොගොස් එම නිවස තුළ වෙසෙන සියලුදෙනා රෝගාතුර විය.
අවසානයේදී එම නිවසේ සාමාජිකයන් 5 දෙනාටම Covid-19 වැළඳී තිබෙන බව පරීක්ෂණයෙන් තහවුරු විය. ඒ වන විට ඔවුන් සතුව තිබූ සීමිත හාල්, බෝංචි සහ ටූනා ප්‍රමාණයෙන් මසක් පුරා දිවි ගැටගසාගත් ඔවුන් ස්වයං නිරෝධායනය විය. ඉඳහිට යම් කණ්ඩායමක් විසින් එළවළු, ජලය සහ වෙනත් ආහාර ද්‍රව්‍ය ඔවුන්ගේ දොරකඩ තබා ගියේය.
ඔවුන් සියලුදෙනාම ආසාදනයෙන් සුවය ලැබුවද ඇයගේ පවුලේ එක් සහෝදරයෙකු ආසාදනය වී බරපතළ නියුමෝනියා තත්ත්වයකට මුහුණ දුන් අවස්ථාව තමාට අමතක කළ නොහැකි බව ඇය පවසන්නීය. ඔහු මිය යාවි කියා ඇය බිය විය.
“මේ දේවල් මට මානසිකව, ශාරීරිකව සහ ආර්ථිකමය වශයෙන් බලපෑවා” කියා ඇය පවසයි.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පසුපස ඇතැම් ජනවර්ගවලට ආවේණික ගැටලු සැඟවී අරක්ගෙන ඇත. එක්සත් ජනපදයේ කොරෝනා වෛරසය හේතුවෙන් රෝහල් තුළ මිය යෑමේ අනුපාතය කලු ජාතික සහ ලතින් ඇමරිකානු සම්භවයක් සහිත පුද්ගලයන් තුළ වැඩි අගයක් ගන්නා බව මෑත කාලීන CDC වාර්තාවක සඳහන් විය. ලතින් ඇමරිකානුවන්ට අමතරව කලු ජාතිකයන්, ඇමරිකානුවන්, පැසි‍ෆික් දූපත් වැසියන් අතරද රෝග ලක්ෂණ ඉහළ අනුපාතිකයන් වාර්තා වේ.
UnidosUS විසින් මැයි 20 දින නිකුත් කරන ලද ප්‍රශ්නාවලියට පිළිතුරු සැපයූ ලතින් ඇමරිකානු සම්භවයක් ඇත්තන්ගෙන් හතරෙන් එකක්ම කියා සිටියේ කොරෝනා වෛරස් පරීක්ෂණය සිදු කරගැනීමේ අවශ්‍යතාවයෙන් පසු වන පුද්ගලයෙකු පිළිබඳව ඔවුන් දන්නා බවය. භාගයක්ම කියා සිටියේ කො‍රෝනා රෝග ලක්ෂණවලින් පෙළෙන නමුත් පරීක්ෂණයක් සිදු කරගත නොහැකි වූ පුද්ගලයෙකුව තමන් දන්නවා කියාය.
ප්‍රශ්නාවලියේ අනෙකුත් ප්‍රතිඵල අනුව පිළිතුරු සැපයූ පුද්ගලයන්ගෙන් හතරෙන් එකක්, තම රැකියා ප්‍රධානීන් තවමත් ආරක්ෂිත උපකරණ සහ දෑත් පිරිසිදුකාරක සපයන්නේ නැති බවද හතරෙන් එකකට රැකියාවට යෑම සඳහා ආරක්ෂිත බවක් නොදැනෙන බවද භාගයක් තමන් හෝ තමන් හඳුනන අයෙක් ආසාදනය වේදැය බියෙන් පසු වන බවද පැවසීය. පාරිභෝගිකයන් සමඟ ගැටිය යුතු රැකියාවල නිරත වීම, අඩු ඉඩකඩක් සහිත නිවෙස්වල වාසය කිරීම වැනි කරුණු ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යෑමට බලපා ඇති බව මතයය. උද්ගත වී තිබෙන තත්ත්වය හේතුවෙන් බොහෝදෙනා ආදායමක් නොමැතිව කල් ගෙවති. කොරෝනාව තුරන් කිරීමට නම් වසංගතය හේතුවෙන් වැඩි බලපෑමක් එල්ල වී තිබෙන ජන කොටස්වලට සහනයක් අවැසිව පවතින බව ජාතික සමාජ සාධාරණත්ව සංවිධානයේ අධ්‍යක්ෂකවරයෙකු වන ප්‍රිස්කිලා පවසයි.
(USA TODAY ඇසුරින්)
එස්. දහනායක
[June 03, 2020 - Gossiplankanews.com]