මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතන විසින් පවත්වාගෙන යන බැංකු ගිණුම් වලට හොර රහසේ ඇතුළු වී ඒවායේ දත්ත සොරාගෙන එම ගිණුම් වලින් රුපියල් කෝටි ගණනක මුදල් වංචනිකව ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
තුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගත් හැකර්වරුන් දෙදෙනකු ලබන 10 වැනි දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා ඊනියම කළේය.

අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ඔලිම්පස් කොටසේ පදිංචි ප්‍රී. ස්ටෙෆන් පිලිප් (38) සහ ගල්කිස්ස ටෙම්ප්ලර් පාරේ මහේල ජනිත් නල්ලපෙරුම (20) දෙදෙනා රක්ෂිත බන්ධනාගාර කරනු ලැබුහ.

 කුරුණෑගල පිහිටි සෙවිලි තහඩු නිපදවන මෙරට ජනප්‍රිය ව්‍යාපාරික ආයතනයකට අයත් ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවකට අයත් කුරුණෑගල ශාඛාවෙහි පවත්වාගෙන යන බැංකු ගිණුමක් හැක් කර එම ගිණුමෙන් රුපියල් ලක්ෂ 15 මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පරික්ෂණ පවත්වා දින 14ක කාලයකදී සැකකරුවන් අත්අඩංගුචට ගැනීමට කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමත් වී ඇත.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු වෘත්තියෙන් පරිගණක මෘදුකාංග ඉංජිනේරුවකු වන අතර ඔහු දිගු කලක් එංගලන්තයේ පදිංචිව සිට මෙරටට  පැමිණ මෙම වංචාවේ නිරත වී ඇති බව අනාවරණය වී තිබේ. තිදරු පියකු වන මොහු එංගලන්තයේ සිටින තම බිරිඳ සමග ඇතිකරගත් ආරාවුලකින් පසුව මීට මාස කීපයකට පෙර මෙරටට පැමිණ ගල්කිස්ස ටෙම්ප්ලර් පාරේ පදිංචි ළාබාල තරුණයාද හවුල් කරගෙන මෙම ජාවාරමේ යෙදී ඇති බව පොලීසිය කියයි.

ගල්කිස්ස ටෙම්ප්ලර් පාරේ පදිංචි තරුණයාගේ නමට ව්‍යාජ හැඳුනුම්පතක් සකසා ඒ මාර්ගයෙන්
මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු හතක ගිණුම් විවෘත කර එමගින් මෙම වංචාව සිදු කරගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇත.

මේ වනවිට අනාවරණය කරගෙන ඇති තොරතුරු අනුව සැකකරු තම පරිගණක හැකියාව උපයෝගී කරගෙන මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතන රැසක බැංකු ගිණුම් වලට ඇතුළුවී ඒවායෙහි රහසිගත දත්ත ලබාගෙන එම ගිණුම් වලින් රුපියල් ලක්ෂ 15 සිට ඉහලට විවිධ ගණන් යටතේ රුපියල් කෝටියක් ගණනක මුදල් වංචාවක් මේ වනවිට සිදු කර ඇති බවට හෙළි කරගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා සතුව තිබී රුපියල් දෙලක්ෂ එකොළොස් දහසක මුදලක්, ප්‍රධාන පෙළේ බැංකුවලට අයත් ක්‍රෙඩිට් කාඩ්පත් 14 ක්, ජංගම දුරකථන 5 ක්, ලැප්ටොප් පරිඝණක 2 ක්, බැංකු ගිණුම් පාස්පොත් 6 ක් සමග ඔවුන් මෙම ජාවාරම සඳහා කුලී පදනම මත ලබාගෙන ඇති සුබෝපභෝගී ජීප් රථයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

  ප්‍රධාන සැකකාර පරිගණක ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගන්නා විට ඔහු නුගේගොඩ ජයමංගල පාරේ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක දිනකට රුපියල් 5000 බැගින්වූ කුලී පදනම යටතේ ලබාගත් නිවෙසක නතරවී සිටි බවද පොලිසිය කියයි. මත්ද්‍රව්‍ය චෝදනාවක් යටතේ මේ වනවිට සිර දඬුවම් විඳිමින් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ රූමත් බිරිඳ තම අනියම් බිරීඳ ලෙස තබාගෙන සැකකරු එම නිවසේ නැවතී සිට මෙම ජාවාරමේ යෙදී ඇතැයි පොලිසිය කියයි.

 මේ ආකාරයට බැංකු ගිණුම් හැක් කිරීම සඳහා මෙරට අනවසරයෙන් රැඳී සිටින නයිජීරියානු ජාතිකයන් පිරිසකගේ සහාය ලැබෙන බවද වංචනිකව ලබා ගන්නා මුදල් වලින් කොටසක් එම විදේශිකයන්ටද ලබාදෙන බවද සැකකරුවන් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත.

විමර්ශන සිදුකරන නිලධාරිගේ ඉල්ලීමට අනුව සැකකරුවන් දෙදෙනාට අයත් සියලුම බැංකු ගිණුම් පරික්ෂා කර මිළඟ නඩු වාරයේදී අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද අතිරේක මහෙස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා පොලීසියට නියම කළේය.

වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන සහ කුරුණෑගල කොට්ඨාසය බාර පොලිස් අධිකාරි ඒ.ජේ.වයි.බී. ක්‍රිෂාන්ත මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි (1) සමන් දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ, කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පී.ඩී.ආර්. කුලතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂකවරුන් වන ආර්.එම්. සෙනෙවිරත සහ සමන් බණ්ඩාර සැරයන් (27617) නවරත්න මහත්වරු වැඩිදුර පරික්ෂණ මෙහෙයවති.

(පුෂ්පකුමාර ජයරත්න)