යාපනය නගරයේ කුණු කාණුවල මැණික් අහුලන බව කී විදේශිකයකු පොලිසිය හා තරුණයන් පිරිසක් එක්ව පෙරේදා (6 දා) යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තාවේ.
යාපනයේදී මෙතෙක් දක්නට නොලැබුණු විදේශිකයකු එක්වරම නගරයේ කුණු කාණු අසල කුණු එකතු කරමින් සිටියදී තරුණයින් පිරිසක් ඒ ගැන විමසූ අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ තමන්ට වටිනා මැණික් හමුවී ඇති නිසා ඒවා අහුලන බවයි.

මොහු ගැන සැක සිතී තරුණයන් පිරිස නගරයේ සිටි පොලිස් නිලධාරියකුට මේ බව දැන්වීමෙන් පසු පොලිස් නිලධාරීන්ද ඔහුගෙන් ප‍්‍රශ්න කර තිබෙයි.

මෙම විදේශිකයාව යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මානසික රෝගියකු බවට නිගමනය වී ඇත.

මෙම විදේශිකයා කවර රටකින් කුමන අවශ්‍යතාවක් මත යාපනයට පැමිණියේද යන්න පිළිබඳවත්, ඔහු මෙතෙක් නවාතැන් ගෙන සිටියේ කොතැනකද යන්න පිළිබඳවත් තොරතුරු සොයා බැලීම සඳහා යාපනය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙයි.