ක්‍රිකට් ක්‍රීඩාවේදී දූෂණයට, වංචාවට, සුරාවට සහ සූදුවට තිත තැබීම සඳහා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩකයන්ට නව ආචාරධර්ම සංග්‍රහයක් ඉදිරිපත් කර තිබේ. මෙම ආචාරධර්ම සංග්‍රහය පසුගිය සතියේදී සියලුම ක්‍රීඩා සමාජ වෙත ක්‍රිකට් ආයතනය විසින් යොමු කරනු ලැබ ඇති අතර, මීට පෙර පැවැති ආචාරධර්ම සංග්‍රහයේ කරුණුද මීට ඇතුළත් කර තිබුණි.



විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට නවකයන් එක්වන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ක්‍රීඩකයන් සඳහා  විශේෂ වන පරීදි මෙම ආචාරධර්ම සංග්‍රහය නිකුත් කර තිබේ.

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආචාරධර්ම සංග්‍රහයට සියලුම ක්‍රීඩකයන් මෙහි සඳහන් ආකාරයට අනුකූලතාව දක්වමින් අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ගරු කිරීමට සහාය දැක්වීමට පොරොන්දු වන බවට ලිඛිත පොරොන්දුවක්ද ලබා දිය යුතු වේ. මෙහි කරුණු 14ක් අන්තර්ගත කර ඇති අතර මෙමගින් ක්‍රිකට් ක්‍රීඩාවේදී සිදුවන දූෂණයට, වංචාවට, සුරාවට, සුදුවට මෙන්ම වෙනත් විෂමාචාර ක්‍රියාවලටද තිත තැබීමට අපේක්ෂා කෙරේ.

මෙම ආචාරධර්ම සංග්‍රහයට පහත සදහන් කරුණු ඇතුළත් වේ.

*වෙනත් ක්‍රීඩකයන්, පුහුණුකරුවන්, දෙමාපියන්, නරඹන්නන් හා ගැටීමේදී සුදුසු විලාසයේ සුදුසු වචන පාවිච්චි කරමින් ගරු සරු බව දක්වමි. ක්‍රීඩාවේ සගයන්ට අගරු වන පරිදි අසභ්‍ය සංඥාවන් කිරීම හෝ පුරසාරම් ආකාරයට සතුටු විමේ වැකී පාවිච්චි නොකරමි.

* සියලුම ක්‍රීඩකයන්ට ඔහුගේ සම්භවය, කුලය, ආගම කුමක් වුවත් එය පිළිබඳව විශේෂත්වයක් නොකර සාධාරණ අන්දමින් සලකමි.

* සියලුම ක්‍රීඩකයන්ට, පුහුණුකරුවන්ට, නිලධාරින්ට, දෙමාපියන්ට සහ නරඹන්නන්ට උසස් අන්දමින් සහ ගෞරවයෙන් සලකමි.

*දුම්කොළ නිෂ්පාදන හෝ මද්‍යසාරයෙන් යුක්ත පාන වර්ග මම නොසපයන අතර, ඒවා පාවිච්චි කිරීමටද ඉඩ නොතබමි.

* ක්‍රියාකාරිත්වය වැඩි කරන්නා වූ  සහ මනස විකෘති කරන්නා වූ විනෝදජනක මත්කුඩු යනාදිය මා විසින් නොසපයනු ලබන අතර, ඒවා පාවිච්චි කිරීමටද ඉඩ නොතබමි.

* පුහුණුකරු හෝ කළමනාකරු විසින් සමාව දිය හැකි හදිසි අවස්ථාවකදී, අසනීපයකදී යන පිළිගත හැකි කරුණකදී හැර ක්‍රීඩා පුහුණුවීම් සඳහාද රැස්වීම සඳහාද, ක්‍රීඩා තරග සඳහාද මම නියමිත වේලාවට පැමිණෙන්නෙමි.

*ශ්‍රී ලංකා ක්‍රිකට්හි ශක්තිය සහ තත්ත්වය සකස් කිරීමේ අංශයේ උපදෙස් ප්‍රකාර නියමිත පරිදි ආහාර ගැනීමෙන් සහ සුදුසු පරීදි පුහුණු කටයුතු කිරිමෙන් හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා වීමට උත්සහ ගනිමි.

* දිනුමෙහි මෙම පැරදුමෙහිදීද මනා ක්‍රීඩකත්වයක් සහ ධෛර්ය දීමක් පිළිබිඹු වන අන්දමින් ක්‍රීඩාවේ නීති වලට අනුව මෙම ක්‍රීඩා කරමි.

*මාගේ පුහුණුවීම් කටයුතුවලදී මාගේ පුහුණුකරුවන් සමග අවංකව කටයුතු කරන අතර, මම බොරු නොකියමි. වංචාවක් හෝ සොරකම් නොකරමි.

* ශ්‍රී ලංකා ක්‍රිකට් හෝ වෙනත් ක්‍රීඩා සමාජයක දේපළවලට හානියක් නොකරන අතර, ගුටි බැට හුවමාරු කර නොගැනීමෙන් ගෞරවාන්විත වෙමි.

*මාගේ සුබසිද්ධිය තකා භෞත චිකිත්සක විසින් සහ වෛද්‍යවරුන් විසින් ගන්නා උත්සාහයන්හිදී මම සහය දක්වමි.

*අනෙකුත් අයගේ නම්බුවට සහ ගෞරවයට හානියක් නොවන පරිදි ඔවුන්ට ලිංගික අතවර නොකරමි.

* ක්‍රීඩාව අතරතුරදී සුරා සූදු කටයුතුවලින් සම්පූර්ණයෙන් මිදෙමින් ක්‍රීඩාවේ ගෞරවය රකිනා අතර, ඒවාහි යෙදෙන්නන් සමගද සම්බන්ධකම් නොපවත්වමි.

*වඩාත් හොඳ ක්‍රීඩකයන් මෙන්ම යහපත් මනුෂ්‍යයන්ද වීමට හැකිවන සේ, මාගේ කණ්ඩායම් සගයන්ට ධෛර්ය දෙමින් ඔවුන්ට සහාය වෙමි යන්න දැක්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට්හි ක්‍රීඩා කරන සියලුම ක්‍රීඩකයන් මෙම ආචාරධර්ම සංග්‍රහයේ එන සෑම වගන්තියක්ම කියවා තේරුම් ගෙන එක් එක් කරුණුවලට අනුකූල වන පරිදි හැසිරීමට එකඟ වන බවට සහතික විය යුතුය.

මෙම ආචාරධර්ම සංග්‍රහය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉදිරියේ පැවැත්වෙන දේශීය මෙන්ම විදේශීය තරගාවලි සඳහාද අනුකූල වන අතර, මෙහි වගන්ති උල්ලංඝනය කරන ක්‍රීඩකයන්ට නිසි පරීක්ෂණයකින් අනතුරුව වරදේ ස්වභාවය අනුව දඬුවම් පැමිණවීමටද නියමිතය.

(පැතුම් ශ්‍රී විජේරත්න)