මේ වනවිට ඇඳිරි නීති කාලසීමාව තුළ සිදු කරගත නොහැකි වූ වෛද්‍ය පරීක්ෂණ සිදු කරගැනීම සඳහා පැමිණෙන රෝගීන්ගෙන් රෝහල් පිරී ඉතිරී යෑමට පටන්ගෙන ඇත. ඇඳිරි නීතිය ලිහිල් වූ විට එකවරම රෝහල් තුළට ගලා ඒම‍ට පටන්ගත් මහත් ජන ගංඟාව හේතුවෙන්
රෝහල් කාර්යමණ්ඩලය අපහසුතාවයට පත්ව ඇති බව සඳහන්ය. ඊට හේතුව වන්නේ විශාල පිරිසක් එකවර රෝහල් කරා පැමිණීමේදී ඔවුන් අතර මීටරයක දුරස්ථභාවය පවත්වාගැනීම ආදී සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව ලැබී තිබෙන උපදෙස් එම පුද්ගලයන් පිළිපදිනවාද කියා වගබලා ගැනීමේ භාරදූර වගකීම සෞඛ්‍ය නිලධාරීන් හට පැවරී තිබීමය.
ඇඳිරි නීතියෙන් පසුව හෘද රෝග ඒකකය

ජූනි 8වෙනිදා ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද රෝග ඒකකය ඉදිරිපිට විශාල සෙනඟක් රැස් වී සිටින අයුරු දැකගත හැකි විය. එක් දිශාවකින් පුංචි බොරැල්ල දෙසටද අනෙක් දිශාවෙන් ද සේරම් පාර දක්වාද දික් ගැසුණු පෝළිම් දැකගත හැකි විය. “ඩේලි මිරර්” ලේඛක සහ ඡායාරූප ශිල්පියා මෙම ස්ථානයට පැමිණි විට ඔවුන් එම පුද්ගලයන් සමඟ කතා කිරීම සහ ඡායාරූප ගැනීම ආරක්ෂක නිලධාරීන් විසින් වළක්වනු ලැබූ බව සඳහන් වේ.

වෛද්‍ය පරීක්ෂණ සිදු කරගැනීමට සහ ප්‍රතිකාර ලබාගැනීම සඳහා තමන්ගේ වාරය උදා වන තුරු සමාජ දුරස්ථභාවය පවත්වාගන්නා ලෙසත් සෞඛ්‍යාරක්ෂිත මඟ පෙන්වීම්වලට ඇලී සිටින ලෙසත් දැනුම් දෙන නිවේදන නිතර අසන්නට ලැබිණ.
කේ. කරුණාරත්න යනු තම පුත්ගේ නියමිත වාරය උදා වන තුරු පිටත රැඳී සිටි මවක්ය. “අපි ආවේ ගම්පහ සිටය. මගේ පුතා උදෑසන සිට පෝළිම්වල රැඳී සිටියි. මෙම රෝහල සෞඛ්‍යාරක්ෂිත මඟ පෙන්වීම්වලට අවනත වෙනවා” ඇය පැවසීය.

බයිපාස් සැත්කමකට මුහුණ දී සිටි තම පියාව සායනය කරා රැගෙන ආ යොහාන් ෂාලොන් සහ රුක්ෂාන් මලීෂ පැමිණ සිටියේ රාගම සිටය. “රෝගීන් සිටින්නේ අපහසුතාවයකින්. මගේ තාත්තාට ඇඳිරි නීති කාලය තුළ සායනයට පැමිණීමට නොහැකි වීම නිසා මෙවර තාත්තාට පැමිණීමට සිදු වුණා” මලීෂ අදහස් දැක්වීය.
සෑම දිනකම රෝගීන් දහස් ගණනක් පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා හෘද රෝග ඒකකයට පැමිණෙති. නමුත් රෝහල් තුළ තිබෙන අඩු යටිතල පහසුකම් යටතේ සෞඛ්‍යාරක්ෂිත මඟ පෙන්වීම්වලට අවනත වෙමින් රෝගීන් අතර නියමිත සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමට රෝහල් නිරත වෙමින් සිටින්නේ දැඩි සටනකය. ඇතැම් ඒකකවල නියම කරන ලද කාල පරාසය තුළ සායන 20ක් පවත්වා ඇති අතර ඒවා‍ට රෝගීන් 3000කට වැඩිදෙනෙක් පැමිණ ඇත. නමුත් එක් දිනකට සේවා සැපයිය හැක්කේ රෝගීන් 500දෙනෙකුට පමණය. වැඩි වේලාවක් සිටගෙන සිටීමට හෝ එතරම් වෙහෙසට පත් විය නොහැකි රෝගීන්ට මෙය අමතර අභියෝගයක් එක් කරයි.

“වසංගතයට පෙර බොහෝදෙනා සායනවලට පැමිණියේ කලින් වෙන් කරගත් වේලාවන්ට අනුවය”  ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ පුද්ගලයෙකු පැවසූ අතර ඔහු තම නම හෙළි කර නොමැතිය. “නමුත් ඇඳිරි නීතිය ඉවත් කළ වහාම තම සායන දින අතපසු වූ පුද්ගලයන් වැල නොකැඩී රෝහල කරා පැමිණීම දක්නට ලැබීය. ප්‍රදේශීය මධ්‍යස්ථාන පිහිටුවා තිබුණද ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝගීන් ජාතික රෝහලේ හෘද රෝග අංශයට පැමිණේ. මේ හේතුවෙන් වර්ෂ ගණනාවක් පුරා පවතින ගැටලුවකට පිළියම් යෙදීමේ අපහසුතාවයක් පවති” ඔහු තවදුරටත් සඳහන් කළේය.


ඇතැමුන්ගේ පාද ඉදිමීම සහ තවත් පුද්ගලයන්ට දුර්වල හෘද තත්වයක් පැවතීම නිසා වෙහෙස මහන්සි විය නොහැකි වීම හේතුවෙන් රෝගීන් අවදානමකට සහ අපහසුතාවකට පත් වේ. “විශාල සෙනඟක් පැමිණීම පාලනය කළ යුතු නිසා අප ඔවුන්ගේ සායන වාර්තා අඩංගු පොත් සියල්ල රැගෙන මාස දෙකකට ඖෂධ නියම කළා. නමුත් එම කාලය ඇතුළත දැනටමත් පිහිටුවා තිබෙන ප්‍රාදේශීය මධ්‍යස්ථාන භාවිත කිරීමට ඔවුන්ට හැකියි. එමනිසා හම්බන්තොට හෝ මාතර ප්‍රදේශයේ ජීවත් වන රෝගීන්ට ගාල්ලේ පිහිටි හෘද රෝග ඒකකයට යා හැකිය. ඖෂධ තැපැල් කිරීමේ ක්‍රමයද අත්හදා බලා තිබෙන අතර ඖෂධ ඔවුන්ට තැපැල් කළ පසුව ඒ බව ඔවුන්ගේ පොත්වල සටහන් කෙරුණි”  එම පුද්ගලයා තවදුරටත් ප්‍රකාශ කළේය.

එක් කාල පරාසයක් තුළදී ජාතික රෝහලේ හෘද රෝග ඒකකය තුළට පැමිණෙන සහ ඉන් පිට වන රෝගීන් සංඛ්‍යාව 1000ක් වූ බව ඔහු පැවසීය. “මෙම ‍ගොඩනැඟිල්ල ඉතා පැරණිය. එය තවදුරටත් විශාල කිරීම සිදු කළ නොහැකිය. නමුත් කලින් වේලාවක් වෙන් කරගැනීමේ සැලැස්ම නැවත රෝගීන්ට හඳුන්වා දී රෝහල තුළට පැමිණීමට වේලාවක් ලබා දීම අපට කළ හැකිය. එවිට සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමට සහ සෞඛ්‍යාරක්ෂිත මඟ පෙන්වීම්වලට කීකරු වීමට ඔවුන්ට හැකියාව ලැබේ.”

ඇඳිරි නීතිය අතරතුර වකුගඩු රෝග අංශයේ ක්‍රියාකාරීත්වය
ඇඳිරි නීතිය අතරතුර රුධිර කාන්දු පෙරීම ආදී වකුගඩු රෝගවලට අදාළ වෛද්‍ය සේවාවන් ලබාගැනීමට පැමිණි පුද්ගලයන්ට විවිධ අමිහිරි සිදුවීම්වලට මුහුණ පෑමට සිදු වූ බව වාර්තා වේ. මාලිගාවත්තේ වකුගඩු සම්බන්ධ ජාතික ආයතනයකදී මුහුණ පෑමට සිදු වූ කරුණු පිළිබඳව වකුගඩු රෝගියෙකුව එම ස්ථානයකට රැගෙන ආ පුද්ගලයෙක් අදහස් දැක්වූයේ මෙසේය. “දුර්ගන්ධයක් හමන විවෘතව පැවති කාණුවක් හේතුවෙන් අවට පරිසරය අපිරිසිදු වී තිබුණා. වැසිකිළිවලින් පැමිණි මල අපද්‍රව්‍ය පවා දක්නට ලැබුණා. එම ස්ථානය වකුගඩු රෝගීන්ට කොහෙත්ම සුදුසු ස්ථානයක් නොවේ. මැස්සන් සහ කපුටන් හැම තැනම. කොරෝනා වෛරසය හේතුවෙන් රෝගීන්ට ගේට්ටුව පිටත රැඳී සිටින ලෙස පැවසුවා. දිගින් දිගටම රෝගීන්ගෙන් විරෝධතාවය එල්ල වීමෙන් පසුව රෝගීන්ව ඇතුළට ගත්තා. නමුත් ඉන්පසුවද ඇතුළත සමාජ දුරස්ථභාවක් තිබුණේ නැහැ” ඔහු සඳහන් කළේය.

මෙම ආයතනයෙහි රුධිර කාන්දු පෙරන යන්ත්‍ර 21ක් තිබෙන අතර සෑම වාරයක් සඳහාම පැය 4ක කාලයක් ගත වේ. “රෝගීන්ව ඇතුළට ගන්නේ උදෑසන 6ට, 11ට සහ හවස 4ට. නමුත් රෝගීන්ට පසුවදා වන තුරු බලා සිටීමට සිදු වූ අවස්ථාද තිබේ” කියා ඔහු සඳහන් කළේය. “ඇඳිරි නීතිය පැවතීම හේතුවෙන් ආහාර හෝ ජලය ලබාගැනීමට කිසිම ස්ථානයකට යෑමට රෝගීන්ට අවස්ථාව ලැබුණේ නැහැ. අතේ යම් ආසාදනයක් ඇති වී තිබූ රෝගියෙකු පැමිණ සිටියා මට මතකයි. බොහෝ වකුගඩු රෝගීන් මිය යන්නේ වකුගඩු අක්‍රීය වීමෙන් නොවන අතර ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව ඇති වන ආසාදන තත්වයන්ගෙන්.”

මාලිගාවත්ත ප්‍රදේශයේ බොහෝ සොරුන් සහ යාචකයන් සිටින බවද එම පුද්ගලයා තවදුරටත් පැවසීය. “යාචකයන්ට මුදල් දුන්නේ නැත්නම් ඔවුන් මිනිසුන්ට දොස් නඟනවා. කොළඹදී මුහුණ දීමට සිදු වන මෙවැනි තත්වයන් ගම්වල සිට පැමිණෙන රෝගීන්ට නුහුරු කරුණක්. රෝගීන්ට රැඳී සිටීමට හැකි ස්ථානයක් ලෙස වාහන නවත්වන ස්ථානය භාවිත කරන ලෙස අප රෝහල් නිලධාරීන්ට යෝජනා කරනවා” ඔහු තවදුරටත් සඳහන් කළේය.

නමුත් “ඩේලි මිරර්” නියෝජිතයන් වකුගඩු අංශය වෙත ගිය අවස්ථාවේදී කිසිම රෝගියෙකු පිටත රැඳී නොසිටි බව එම පුවත් වාර්තාවේ සඳහන් විය. ඇඳිරි නීතිය ඉවත් කිරීම සහ තම වාරය උදා වන තෙක් රෝගීන්ට එම අංශයට ළඟ පාතින් පිහිටි තම නෑදෑයෙකුගේ හෝ හිතමිතුරෙකුගේ නිවසක රැඳී සිටීමට හැකි වීම මෙයට හේතුව විය හැකි බව කමන්ති වික්‍රමසිංහ පළ කළ ලිපියේ සඳහන් විය.

(ඩේලි මිරර් පුවත්පතට කමන්ති වික්‍රමසිංහ විසින් පළ කළ ලිපියක් ඇසුරිනි)
එස්. දහනායක