කොරෝනා වසංගතය අතරතුර මිනිසුන්ගේ ජීවන රිද්මය වෙනස් විය. වෙනදා තිබූ කලබලය නැති විය. පවුල සමග එකට ගතකිරීමට බොහෝ අයට සිදුවිය. වසංගතය අතරතුර විවාහ බැඳීම් වලට කවරක් සිදුවිණිද යන්න ගැන සිදු කළ පරියේෂණ වලදී අපූරු ප්‍රතිඵල ලැබී තිබේ.
වැඩිහිටියන් 2000ක් ඇසුරෙන් සිදු කර තිබෙන පර්යේෂණ වාර්තාවක සඳහන් වන පරිදි
අගුළු දැමීමේ කාල සීමාව තුළ ඔවුන්ගේ විවාහ බැඳීම් ශක්තිමත් වී ඇත. අලුතින් විවාහ ජීවිතය ඇරඹූ බොහෝදෙනා කියා ඇත්තේ අවුරුදු දෙකක් පුරාවට යුවළක් ලෙස ජීවත් වූවා සේ පසුගිය මාස දෙක තුළ ඔවුන්ට හැඟුණ බවය.

සමීක්ෂණයට සහභාගි වූ පුද්ගලයන්ගෙන් සියයට 60කට වඩා කියා සිටියේ වසංගතයට පෙර තිබුණාට වඩා දැන් ඔවුන්ගේ බැඳීම ශක්තිමත් වී ඇති බවය. එමෙන්ම සියයට 58ක් කිසා සිටියේ ඔවුන්ට තම සහකරු සමඟ දිවි ඇති තුරාවට ජීවත් විය යුතු බවය. පෙරට වඩා හොඳින් අදහස් හුවමාරු කරගැනීමට හැකි වූ බව සියයට 30කට ආසන්න ප්‍රමාණයක් සඳහන් කර තිබේ.

මෙම කාරණය ඇතැම් විවාහ සහ පවුල් චිකිත්සකවරුන්ගේ අවධානයටද යොමු වී තිබේ. චිකාගෝ ස්කයිලයිඩට් උපදේශන මධ්‍යස්ථානයේ එවැනි චිකිත්සකවරයෙකු ලෙස කටයුතු කරන ඩේවිඩ් ක්ලෝව්
 You Are Not Crazy: Letters from Your Therapist නමැති පොතේ කතුවරයාය.ඩේවිඩ් ක්ලෝව්
මෙසේ කියා තිබේ.
“මෙම වසංගතය කටයුතු කර තිබෙන්නේ එක්තරා ආකාරයක පීඩන උදුනක් මෙන්ය. ජීවිතයේ සාමාන්‍ය ගමන් බිමන් නොමැති වීම හේතුවෙන් වසංගත කාල සීමාවට පෙර බැඳීම්වල උද්ගත වී තිබූ තත්ත්වයන් වසංගත කාල සීමාව තුළ තවදුරටත් වැඩි වශයෙන් අද්දැකීමට සිදු වී තිබෙනවා.

අවධානය යොමු කිරීමට තිබෙන දේවල් අඩු වීම සහ එකිනෙකා කෙරෙහි පෙරට වඩා විශ්වාසය තැබීම හේතුවෙන් ඇතැම් යුවළයන් තුළ එකිනෙකා කෙරෙහි විශාල අගයක් ඇති වී තිබේ. වේගවත්ව ජීවිතයේ වෙනස්වීම් සිදු වී ඇති නිසා එකිනෙකාව තමන්ට කොතරම් අවශ්‍යද යන්න එම යුවළයන් වටහාගෙන ඇත.”

මනෝ වෛද්‍යවරයෙක් වන ජෝන් මේයර්ද මේ පිළිබඳව අදහස් දක්වා තිබේ. වසංගතයට පෙර බොහෝ යුවළයන්ගේ අවධානය උදුරාගත් දේවල් වසංගතය අතරතුර ඔවුන්ගේ අවධානය සොරා ගෙන නොමැති බව බොහෝ චිකිත්සාවලදී තම අවධානයට ලක් වූ බව මේයර් පැවසීය. “අපට වඩාත් කිට්ටුවෙන් තිබෙන දේවල්, විශේ‍ෂයෙන්ම අපට වඩාත් කිට්ටුවෙන් සිටින පුද්ගලයන් කෙරෙහි අවධානය යොමු කිරීමට එය උපකාරවත් වී තිබේ.”

“වසංගතයට පෙර සිටම හොඳ පවුල් බැඳීම් භුක්ති විඳි සාමකාමිව කටයුතු කළ යුවළයන්ට වසංගතය අතරතුර එම බැඳීම් තවදුරටත් ශක්තිමත් කරගැනීමට අවස්ථාව උදා වූ බව මට අසන්නට ලැබීය. එකිනෙකා සමඟ ගත කිරීමට සහ එකිනෙකාට කිට්ටු වීමට පෙරට වඩා කාලය සහ අවස්ථාව ලැබීම හේතුවෙන් ශක්තිමත් බැඳීම් තිබෙන යුවළයන්ට පෙරට වඩා එයින් සතුටු වීමට අවස්ථාව ලැබී තිබේ.”

පවතින තත්ත්වයන් හේතුවෙන් පෙරට වඩා අනෙක් පුද්ගලයන් මත රඳා සිටීමට යුවළයන්ට හැකි වී තිබේ. “ඇති වී තිබෙන මානසික ආතතිය හේතුවෙන් ඇතැම් යුවළයන් පෙරට වඩා අනෙක් පුද්ගලයාගෙන් සහනය බලාපොරොත්තු වේ. එය එකිනෙකාට කිට්ටු වීමට ඔවුන්ට උපකාරවත් වී තිබේ” කියා සමාජ පෞරුෂත්ව මනෝවිද්‍යාඥයෙක් සහ මිචිගන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ සහය මහාචාර්යවරයෙක් වන විලියම් චොපික් Yahoo වෙත අදහස් දක්වා තිබේ.

වසංගතය අතරතුර විවාහ දිවිය තුළ ප්‍රශ්න ගැටලු ඇති වීමට වැඩි ඉඩකඩක් තිබුණද “වසංගතයේ ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසුව බොහෝ පුද්ගලයන් ඊට ගොදුරු වූ අතර අප අවට සිටින බොහෝ පුද්ගලයන් වේදනාකාරී අද්දැකීම්වලට මුහුණ දීමට සහ ආදරණීයයන්ගේ වියෝවට මුහුණ දීමට පටන්ගෙන තිබේ. මෙම තත්ත්වය එකිනෙකාව පෙරට වඩා අගය කිරීමට සහ විවාහ දිවිය තුළ ඇති වෙන සුළු සුළු ගැටලු මත ආරවුල් ඇති කර නොගෙන සිටීමටත් බොහෝ යුවළයන්ට හේතු වී” තිබෙන බව බැඳීම් පිළිබඳ විශේෂඥවරියක වන මවුරීන් ටාරා නෙල්සන්  පැවසුවාය.

වසංගතය හේතුවෙන් ඇතැම් යුවළ වලට හොඳ අදහස් හුවමාරුවක් පවත්වාගැනීමට හැකියාව ලැබී තිබෙන බව චොපික් පවසයි. “වසංගතය හේතුවෙන් අනාගතය ගැන සැලසුම් කිරීමට බොහෝ දේ තිබේ. ඉදිරියේදී අපේ ආර්ථිකය මොන වගේ වේවිද රැකියාව මොන වගේ වේවිද අනාගත සැලසුම් මොනවාද සහ ඉදිරියටත් එකිනෙකා සමඟ සහජීවනයෙන් ජීවත් වීමට සිදු කළ හැකි සැලසුම් මොනවාද ‍වැනි බොහෝ කරුණු සාකච්ඡා කිරීමට යුවළකට තිබිය හැකිය. මේ හේතුවෙන් අදහස් හුවමාරුව දියුණු වී තිබේ” ඔහු පැවසීය.

එමෙන්ම යුවළයන් මානසික ආතතිය සමඟ කටයුතු කරන ආකාරයද ඔවුන්‍ අතර බැඳීමට හේතු වී තිබෙන බව චොපික් පවසයි. “මානසික ආතතිය හේතුවෙන් විවාහය යුවළයන් ප්‍රයෝජන ලබනවා. එය වෙනදාටත් වඩා එකිනෙකාට කිට්ටු වීමට ඔවුන් තුළ පෙලඹීමක් ඇති කර අතර බාහිර පුද්ගලයන් ඔවුන්ගේ ජීවිතවලින් ඊට වඩා ඈත් වෙනවා.”
නමුත් එම සමීක්ෂණ වාර්තාවේ සඳහන් වූ සෑම කරුණක්ම හොඳ ආරංචි නොවේ. ඊට සහභාගි වූ පුද්ගලයන් අතරින් සියයට 17ක්ම ප්‍රකාශ කළේ අගුළු දැමීමෙන් පසුව තම සහකරු සමඟ දිවි ගෙවීමේදී ඔවුන් අතර ආරවුල් ඇති වූ බවය.
වසංගතය අතරතුර බොහෝ ගැටලුවලට මුහුණ දුන් යුවළයන් පිළිබඳව තමන් දන්නා බව මනෝ විද්‍යාඥ රමණි දුර්වසුලා පැවසුවාය. “වසංගතයට පෙර විවාහ දිවියේ ගැටලු තිබූ ඇතැම් යුවළයන්ට වසංගතය අතරතුර එම ගැටලු තවදුරටත් උත්සන්න වී තිබේ. ඇති වී තිබෙන සමාජ හුදෙකලාව හේතුවෙන් ඇතැම් යුවළයන්ට එකිනෙකාගේ තිබෙන දුර්වලකම් පිළිබඳව වැඩි අවධානයට ලක් වී තිබේ.”

ඇතැම් යුවළයන් අතර මතගැටුම් දක්නට ලැබූ බව දුර්වසුලා පවසයි. “එක් පුද්ගලයෙක් සිතනවා මම මුඛ ආවරණයක් පළඳින්නේ නැහැ. ඒක අනවශ්‍ය දෙයක්. අනෙක් පුද්ගලයා කියනවා මං ඒ ගැන ගොඩාක් සැලකිලිමත් වෙනවා. ඒ නිසා මම මුඛ ආවරණයක් පළඳිනවා කියලා. මෙවැනි ගැටලු බොහෝ බැඳීම් තුළ මා දුටුවා. තවත් පුද්ගලයන් වසංගතය පෙර තම විවාහක සහකරු හෝ සහකාරිය දවස අවසානයේදී මුණගැසෙන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටියේ දවසේ සිදු වීම් සියල්ල ඔහුට හෝ ඇයට පැවසීමට. එහෙත් දැන් දවස පුරාම ඔහුව හෝ ඇයව දැකීම හේතුවෙන් ඔවුන් තුළ පෙර තිබූ උනන්දුව පහව ගොස් තිබෙනවා. නිවසේ රැඳී සිටීමේදී එක් පිරිසක් විශාල සතුටක් ලබන අතර තවත් පිරිසක් අසතුටට සහ පීඩනයට පත් වී තිබෙනවා.”

නමුත් ඇතැම් යුවළ වල මෙවැනි තත්වයන් යටතේ උදා වන අභියෝග සාර්ථකව ජයගන්නා බව දුර්වසුලා පවසයි. “පෙර සිටම හොඳ බැඳීමක් තිබූ යුවළයන් මෙම තත්ත්වය යටතේ පෙරට වඩා එකිනෙකාගේ ඇසුර භුක්ති විඳිනවා” ඇය පවසයි.
වසංගතයෙන් පසුව තත්ත්වයන් යළි සාමාන්‍ය බවට පරිවර්තනය වීමේදී බැඳීම්වලට බලපෑ කරුණු කාරණ නැවත වෙනස් විය හැකි බව චොපික් පවසයි. එමනිසා බැඳීම් ශක්තිමත් කරගැනීමට උපකාරවත් වන කරුණු පිළිබඳව සිතා බැලීම වැදගත්ය. ඇතැම් දේවලින් යුවළයන් අතර මතගැටුම් ඇති විය හැකි අතර තවත් දේවලින් වෙනදාටත් වඩා එකිනෙකා කෙරෙහි අගයක් ඇති විය හැකි බව ඔහු සඳහන් කරයි. “එමනිසා දැන් සහ අනාගතයේදිත් එකිනෙකා කෙරෙහි අගයක් ඇති කරගන්න. යම් ක්‍රියාකාරකම්වල හවුල් වීමෙන් හෝ යම් විෂයක් පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමෙන් තම බැඳීම ශක්තිමත් වන බව යුවළකට හැඟුණා නම් ඉදිරියේදීත් අගුළු දැමීම ඉවත් කළ පසුවද එවැනි ක්‍රියාකාරකම්වල නිරත වන්න.”

(Yahoo! පුවත් ඇසුරිනි)
එස්. දහනායක
[June 28, 2020 - Gossiplankanews.com]