මාස තුනකට අධික කාලයක් වසා දමා තිබූ මෙරට පාසැල් හෙට විවෘත කෙරෙනවා. එහෙත් දරුවන් හෙට දිනයේ පාසල්වලට පැමිණිය යුතු නැහැ.
කෝවිඩ් 19 ව්‍යසනය හේතුවෙන් පසුගිය මාර්තු මස 13 වනදා සිට සියලු පාසල්  වසා දැමුණා. එමෙන්ම දහම් පාසල් හා උපකාරක පන්ති වසා දැමීමටද තීරණය කෙරුණේ උද්ගත වෙමින් පැවති තත්ත්වයට මුහුණදීම සඳහායි.

ඒ අනුව දින 105 ට පසුවයි හෙට සිට පාසල් යළි විවෘත කිරීම සිදුවන්නේ. පාසල් ආරම්භ වී පළමු සතිය විෂබීජහරණය ඇතුළු සෙසු කටයුතු සඳහා වෙන් කෙරෙන බැවින් එදිනට පාසලට පැමිණිය යුතු වන්නේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය පමණයි.

දෙවන අදියර යටතේ පාසල් විවෘත කිරීම සිදුවන්නේ ලබන මස 6 වනදායි. එදිනට 5, 11, 13 යන ශ්‍රේණිවල දරුවන් අධ්‍යාපන කටයුතු සඳහා පාසල්වලට පැමිණිය යුතු වනවා.

තුන්වන අදියරේදී 10 සහ 12 යන ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. එය සිදුවන්නේ ලබන මස 20 වනදා සිටයි.

4 වන අදියර යටතේ ජුලි මස 27 වනදා පාසල් ආරම්භ කෙරෙනවා. 3, 4, 6, 8, 9 යන ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ වන්නේ එදින සිටයි.