සිය පුතා හා ලේලිය විසින් නිවසින් එළියට ඇද දමා ගෙල මිරිකා පහර දුන් බව කියන සිද්ධියකින් රෝගී වූ තිදරු මවක් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව දඹුල්ල පොලිසිය කියයි.
ඉකුත් 30 වැනිදා මෙසේ රෝහල් ගතකර  ඇත්තේ දඹුල්ල කපුවත්ත ප්‍රදේශයේ පදිංචි  හැටතුන් හැවිරිදි තිදරු ආබාධිත මවකි.
සැමියා මිය යෑමෙන් අනතුරුව දේපළ සිය  දරුවන් තිදෙනාට ලියා දී තමා පදිංචිව සිටි  නිවසේ අයිතිය සිය වැඩිමල් පුතා වෙත පවරා  දුන් බව එම මව පොලිසියට ප්‍රකාශ කර තිබේ.  පසුව තම වැඩිමල් පුතා සහ ලේලිය නිවසට පැමිණ නිවසෙන් පිටව යන්නැයි තමාට තර්ජනය කර ඔවුන්ගේ නිවසේ තිබූ බඩු බාහිරාදිය සියල්ල මහ ගෙදරට ගෙනවිත් තබා දෙදෙනා එකතුව තමාට පහර දී බෙල්ල මිරිකා එළියට දැමූ බව ඇය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ව තිබේ.
පසුව ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල වැටී සිටියදී අසල්වාසීන් විසින් මෙම මව දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය
කියයි.

රෝහල්ගතව සිටින මව කොඳු ඇට පෙළේ ආබාධයක් සහිතව රජයෙන් ලබාදෙන ආබාධිත දීමනාවෙන් ජීවත් වන කෙනකු බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
 මෙම ආරවුල විසඳීම සඳහා පසුගිය දා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කපුවත්ත ප්‍රදේශයේ එම නිවෙසට යන අවස්ථාවේදී වැඩිමල් පුතා සහ බිරිඳ මව ජීවත් වූ නිවසේ පදිංචියට පැමිණ ඇති බව අනාවරණය වී තිබේ.
  පහරකෑමට සහ ගෙල මිරිකීමට ලක්වූ මව තවමත් රෝහල්ගතව සිටින නිසා මෙම ආරවුල විසඳීමට වෙනත් දිනයක් යොදා ගත් බව පොලිසිය කියයි.
තමාට ජීවත්වීමේ අයිතිය ලබා දෙන්නැයි මෙම මව හැඬු කඳුළින් යුතුව පොලිසියෙන් ඉල්ලීමක් ද කළාය.

 (දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)