සුගිය 11 දා කොළඹ හැව්ලොක් ඉන්ධන පිරවුම්හල අසලදී රාජ්‍ය බුද්ධි සේවයේ කොස්තාපල් සිතුම් අලහප්පෙරුමට මරු කැඳවූ ඩිෆෙන්ඩර් රථ අනතුර අවස්තාවේ එය පදවමින් සිටියේ 24 හැවිරිදි අශාන් තරින්ද කටුගහ රත්වත්ත නමැති තරුණයෙකු බව පොලිස් ආරංචි හෙළි කරයි. ඔහු මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර
නීති සිසුවකු සේම රග්බි කණ්ඩායමක සාමාජිකයෙකු බවත් වාර්තාවේ.
ඔහු අනතුර සිදුවන අවස්ථාවේ බීමතින් සිටි බවට පොලිසිය තහවුරු කර තිබේ.අනතුරෙන් පසු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති ඔහු හෙට (15) දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දන්වා සිටියේ පුද්ගලයා සිදු කළ වරද සම්බන්ධයෙන් මිස ඔහුගේ පවුල් සම්බන්ධතා ආදී කිසිවක් මෙම පරීක්ෂණයට අදාළ කරනොගන්නා බවයි.

බම්බලපිටිය හැව්ලොක් මාර්ගයේ සම්බුද්ධ ජයන්ති මන්දිරය අසලදී ඩිෆෙන්ඩර් රථයක් ගැටී මෙම අනතුර සිදුව තිබුණි. ඒ, මෙම පොලිස් කොස්තාපල්වරයා සහ තවත් නිලධාරියෙකු පදවමින් සිටි යතුරු පැදිය අදාළ ඩිෆෙන්ඩරයේ ගැටීමෙනි.
මාර්ගයේ ඉදිරියට ධාවනය වෙමින් තිබූ මෙම යතුරු පැදිය එක්වරම මාර්ගයේ අනෙක් පසට ධාවනය කිරීමට යනවාත් සමග අනතුර සිදුව තිබූ බව මූලික පරීක්‍ෂණවලදී අනාවරණ විය.

අනතුරින් මියගිය සිතුම් අලහප්පෙරුම (22) පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ එකම සොයුරිය මෙම මරණය සම්බන්ධ පරීක්ෂණ සාධාරණව පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කරන බව විද්‍යුත් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි. එසේම ඇය සඳහන් කළේ 'අනතුර කරල තියෙන්නෙ ඇමති කෙනෙක්ගෙ ඥාතියෙක්ලුනේ.ඒ ගැන අපක්ෂපාතීව හොයයි කියලා අපි හිතනවා'
යනුවෙනි.