මීට දින කිහිපයකට පෙර මැදගම පොලිස් බල ප්‍රදේශයට අයත් දිවියාපොළ ප්‍රදේශයේ නිවෙසක තිබී අබිරහස් ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් මැදගම පොලිසිය සොයාගෙන තිබුණි. ඒ සම්බන්ධයෙන් කළ විමර්ශන අනුව මියගිය තරුණියගේ පාසල් කාලයේ සිට පෙම්වතා
ලෙස ඇසුරු කළ පුද්ගලයා ඇයව ඝාතනය කර ඇති බව අනාවරණයවී තිබේ.
සැක සහිත කරුණු අනාවරණයවීමෙන් පසු පෙම්වතා මැදගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රශ්න කිරීම්වලදී මෙම ඝාතනය ඔහු කර ඇති බව පිලිගෙන ඇත.
සැකකාර පෙම්වතා මහනුවර පල්ලේකැලේ ප්‍රදේශයේ විසිහත් හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු සහ

ඝාතනයට ලක්වූ ඔහුගේ පෙම්වතිය පාසල් වයසේදී හය ශ්‍රේණියේ සිට එකම පන්තියේ අධ්‍යාපනය ලබා
ඇති බවටද පාපොච්චාරණය කර ඇත.

එම හිතවත්කම මත මොවුන් පසුව පෙම්වතුන්වී ඇත. කලක් ගතවෙද්දී මොවුන් අතර වූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය කරන ලදැයි ඔහු කියා තිබේ. ලණුවකින් ගෙල සිර කර ඝාතනය කර පසුව සිරුරට පෙට්‍රල් දමා ගිනි තැබූ බවට තොරතුරු අනාවරණය කර ඇත.
ඝාතනයට ලක්ව ඇත්තේ අංජලී සෞම්‍යා හේමමාලි (27) නමැති තරුණියකි.

ඝාතනය සඳහා යොදාගත් අත් ආවරණ සහ ගිනි පෙට්ටියක් මහියංගණය නුවර මාර්ගයේ දහ අට වංගුව අසලින් කැලෑවකට විසි කර තිබියදී පොලිසිය සොයාගෙන ඇත. මෙම ඝාතනය කළ සැකකරු නැවත සිය නුවර ප්‍රදේශය බලා ගමන් කරන අතරතුර ඝාතනය සඳහා යොදාගත් මෙම ද්‍රව්‍ය කැලෑවට විසි කළ බවට පොලිසියට ප්‍රකාශ කර ඇත. එම තොරතුරු අනුව මහනුවර ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවෙස පරීක්ෂා කිරීමේදී එහි තිබී තරුණියගේ රත්රන් ආභරණ කිහිපයක්ද පොලිසිය සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 8දා දින බිබිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස දහ නව වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන මැදගම පොලිසිය සිදු කරයි.

ඔක්කම්පිටිය  - ඉඳුනිල් අළුත්ගෙදර