රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින්, සේවා ස්ථාන සඳහා පැමිණෙන වේලාවන් සංශෝධනයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීයි. ප‍්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප‍්‍රධානත්වයෙන් පත් කර ඇති එම කමිටුවට ජාතික ගමනාගමන කොමිසම, ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව සහ පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය ඇතුළු ආයතන කිහිපයක නියෝජිතයින් ද අයත්.

ජනාධිපතිවරයා එම කමිටුවට උපදෙස් ලබාදී ඇත්තේ කොළඹ සහ වෙනත් නගරවල පවතින අධික වාහන තදබදය අවම කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් සේවයට වාර්තා කරන වේලාවන් සංශෝධනය කරන ලෙසයි.

අදාළ නිර්දේශ කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා එම කමිටුවට දන්වා තිබෙනවා. කාර්යාල වේලාවන් සංශෝධනය සම්බන්ධ නිර්දේශ සතියක් තුළ ලබාදිය යුතු අතර එම නිරේදේශ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වෙත වැඩිදුර අධ්‍යයනය සඳහා ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

ජාතික ගමනාගමන කොමිසම මගින් මේ සම්බන්ධව සමීක්ෂණයක් පැවැත්වීමටත්, විශේෂයෙන් පාසල් වේලාවන් හා කාර්යාල වේලාවන් අතර පවතින රථවාහන තදබදය පාලනය කර යහපත් ප‍්‍රවාහන සේවාවක් පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙසත් විෂයභාර අමාත්‍ය මහින්ද අරමවීර මෙහිදී උපදෙස් ලබාදී තිබෙනවා.

දැනට සේවා ස්ථාන සඳහා වාර්තා කරන වේලාවන් සහ පාසල් ආරම්භ කරන වේලාවන් ආසන්න කාලසීමාවක් තුළ පවතින බැවින් දෛනිකව නගරාශි‍්‍රතව ඇත්තේ දැඩි රථවාහන තදබදයක්. මේ හේතුවෙන් කාලය මෙන්ම සම්පත් ද අපතේ යාමක් සිදුවන බවයි සමීක්ෂණයක් මගින් අනාවරණ වී ඇත්තේ.