කොරෝනාවෙන් ආරක්ෂා වීමට නිපදවන ලද නව එන්නත අත්හදා බැලීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් එය එන්නත් කරවාගැනීම එක්සත් රාජධානියේ ආරම්භ කර තිබෙන බව බීබීසී පුවත් සේවය අද (25) වාර්තා කර තිබේ. ලන්ඩනයේ ඉම්ජීරියල් කොලේජ්හි මහාචාර්ය රොබින් ෂැටොක් සහ
ඔහුගේ කණ්ඩායම විසින් මෙහෙයවන මෙම අලුත් එන්නත අත්හදා බැලීමේ පියවරක් ලෙස ඉදිරි සති තුළදී පුද්ගලයන් 300කට පමණ මෙම එන්නත ලබා දීමට නියමිතය.

මෙම එන්නත සතුන්ට අත්හදා බැලීමේදී දක්නට ලැබුණේ මෙය ආරක්ෂාකාරී මෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් ප්‍රතිචාරය දක්වන එන්නතක් බවය.
මේ අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන්ද දැනටමත් නව එන්නත මිනිසුන්ට අත්හදා බැලීම ආරම්භ කර තිබේ.


අත්හදා බැලීම් ලොව පුරා විවිධ රටවල සිදු වන බව සඳහන්ය. දැනට ලොව පුරා එන්නත් කිරීමේ වැඩසටහන් 120ක් ක්‍රියාත්මක වේ.
මූල්‍ය ක්ෂේත්‍රයේ රැකියාවේ නිරත වන 39 හැවිරිදි කැතී ඉම්පීරියල් කොලේජ්හි අත්හදා බැලීම සඳහා කැමැත්තෙන්ම ඉදිරිපත් වූ මුල්ම තැනැත්තන් අතරින් අයෙක්ය. වෛසරයට එරෙහි සටනට තමාටද දායක වීමට අවශ්‍ය නිසා තමන් ස්වේච්ඡාවෙන් මේ සඳහා ඉදිරිපත් වූ බව ඇය පැවසීය.
“මම ඉදිරිපත් වුණේ මට කරන්න පුළුවන් මොනවාද කියා දැනගෙන නොවෙයි. නමුත් පසුව මට කළ හැකි යමක් සඳහා මට අවස්ථාව ලැබුණා. එමෙන්ම එන්නතක් සොයාගන්නා තෙක් කාරණා යථා තත්වයට පත් නොවනු ඇතැයි පෙනෙන්නට තිබූ බැවින් මෙහි කොටස්කාරිනියක් වීමට මට අවශ්‍ය විය.”

මුල් වටයෙන් අනතුරුව තවත් අත්හදා බැලීමේ වටයක් ඔක්තෝබර් මාසයේදී සැලසුම් කර තිබෙන අතර එයට පුද්ගලයන් 6000ක් යොදාගැනීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ.

2021 සිට ඉම්පීරියල් කොලේජ්හි එන්නත එක්සත් රාජධානිය තුළ සහ වෙනත් රටවලට බෙදාහැරීමට හැකියාව ලැබෙනු ඇතැයි එහි නිෂ්පාදන කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිටියි.
මේ අතර කේම්බ්‍රිජ්හි ආදිපාදවරයා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් පවත්වන අත්හදා බැලීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන්ව එම ප්‍රදේශයේ පිහිටි චර්චිල් රෝහලේදී මුණගැසී තිබේ. එහිදී ඔවුන්ගේ ඉදිරිපත් වීම පිළිබඳව ආදිපාදවරයා අගය පළ කොට තිබේ.

කාලයක් පුරා පවතින ප්‍රතිශක්තිකරණ එන්නත් පදනම් වී තිබෙන්නේ දුර්වල වූ හෝ අලුත් කරන ලද වෛරස ප්‍රභේදයක් මත හෝ එම වෛරසයෙන් කොටසක් මතය. නමුත් කොරෝනා වෛරසයට එරෙහිව දැන් නිපදවන එන්නතේ යම් වෙනසක් තිබෙන බව සඳහන්ය. එනම් එය RNA නම් ජානමය කේතයක් පදනම් කරගෙන තිබීමය. එය වෛරසයේ අනුකරණයක්ය.

මෙය මාංශ පේශියකට එන්නත් කළ පසුව RNA තමා විසින්ම වර්ධනය වේ. එනම් ස්වයංක්‍රීයව පිටපත් සාදයි. ඉන්පසුව එය වෛරසයේ පිටත දැකගත හැකි උල් හැඩයේ ප්‍රෝටීනයක පිටපත් සාදන ලෙස ශරීරයට අයත් සෛලවලට අණ කරයි.
මෙමගින් පුද්ගලයා තුළ Covid-19 වර්ධනය ‍කරනවා වෙනුවට කොරෝනා වෛසරය හඳුනාගෙන ඊට එරෙහිව සටන් කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කළ යුතුය.


මෙම එන්නත නිපදවීමේදී භාවිත කරන්නේ ජාන කේතයේ ඉතා සුළු ප්‍රමාණයක් වීම වාසිදායක බව සඳහන්ය. මන්දයත් එම ද්‍රව්‍ය එක් ලීටරයක් මගින් මාත්‍රා මිලියන දෙකක් නිපදවීමට එමගින් හැකියාව ලබා දේ.
මෙම මාත්‍රා නිපදවෙන්නේ එක්සත් ජනපදයේ වන අතර මෙම වර්ෂයේ අවසානය වන විට එය එක්සත් රාජධානිය තුළ නිපදවීම ඇරඹීමට නියමිතය. එමනිසා එම එන්නතෙහි මාත්‍රා විශාල ප්‍රමාණයක් නිපදවීමට අවශ්‍ය වූ විට එම නිෂ්පාදන කටයුතු එක්සත් රාජධානිය තුළ සිදු කළ හැකි බව සඳහන්ය.

ආරක්ෂාව සඳහා තිබෙන අවදානම් අඩු කරගත යුතු බැවින් සියලු අත්හදා බැලීම් ආරම්භ වන්‍නේ ඉතා ප්‍රවේසම්සහගතව සහ සෙමින් බවට සඳහන්ය. ඔක්ස්ෆර්ඩ් මගින් එන්නත අත්හදා බැලීම අප්‍රියෙල් මාසයේදී ඇරඹූ විට මුල් දින එම එන්නත ලබා දුන්නේ දෙදෙනෙකුට පමණක්ය. සතියක් ඇතුළත සෑම දිනකම 100දෙනෙකුව එන්නත් කරන ලදි.
ඉම්පීරියල් කොලේජ්හි එන්නත සාමාන්‍යයෙන් අත්හදා බලන්නේ මුල් දින එක් පුද්ගලයෙකුටත් ඉන් පසුව සෑම පැය 48කට වරක්ම එන්නත ලබා දෙන පුද්ගලයන් ගණන ඊ‍ට පෙර ගණනට වඩා තුනකින් වැඩි වන ආකාරයටය. මේ ආකාරයට සතියක් අවසන් වෙද්දී එන්නත ලබා දෙන පුද්ගලයන් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වේ.
ඔක්ස්ෆර්ඩ්හි එන්නත ලබා දෙන්නේ එක් මාත්‍රාවක් පමණක් වුවද ඉම්පීරියල් කොලේජ්හි එන්නතෙහි මාත්‍රා දෙකක් ලබා දේ. දෙවෙනි මාත්‍රාව ලබා දෙන්නේ පළමු මාත්‍රාව ලබා දී සති හතරකින් පසුවය.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය ආරම්භ වූ කාලයේදී ලොව පුරා එන්නත් 120කට වඩා අත්හදා බලා තිබුණද මෙම එන්නත්වලින් වැඩි ප්‍රමාණයක් විද්‍යාගාරයෙන් එහාට ගියේ නැත. නමුත් තවත් එන්නත් 13ක් දැනට වෛද්‍ය අත්හදා බැලීම් යටතේ පවතියි. මෙම අත්හදා බැලීම් 13 අතරින් අතරින් 5ක් සිදු වන්නේ චීනයේ වන අතර තුනක් එක්සත් ජනපදයේ, දෙකක් එක්සත් රාජධානියේ සහ එකක් ඕස්ට්‍රේලියාවේ, ජර්මනියේ සහ රුසියාවේ සිදු වෙයි.
මේ සෑම එන්නත් නිපදවීමේ කණ්ඩායමක්ම අවධාරණය කරන්නේ ඔවුන් අනෙකුත් කණ්ඩායම් සමඟ තරඟයක නොසිටින බවත් ඔවුන් තරඟ කරන්නේ වෛරසයට එරෙහිව බවත්ය. කොරෝනාවෙන් ලොව සුවපත් වීමට නම් ඒ සඳහා ප්‍රමාණවත් මාත්‍රා අවශ්‍ය බවද ඊට එන්නත් නිපදවීමේදී ගන්නා උත්සාහයන් කිහිපයක් සාර්ථක විය යුතු බවද බීබීසී සඳහන් කරයි.

මහාචාර්ය ෂැටොක් මෙසේ සඳහන් කළේය.
“අපේ උත්සාහය සාර්ථක වුවොත් සහ මෙම එන්නත මගින් රෝගයට එරෙහිව හොඳ ආරක්ෂාවක් ලැබුණොත් ඉදිරියේදී අප මෙම වසංගතයට ප්‍රතිචාරය දක්වන ආකාරය වෙනස් විය හැකිය.
මෙම අධ්‍යනයෙහි ප්‍රධාන විමර්ෂක ලෙස කටයුතු කරන වෛද්‍ය කැත්‍රිනා පොලොක් මෙසේ පැවසුවාය.
“මෙම පරීක්ෂණය සඳහා සහභාගි වන්නන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළ හොඳ ප්‍රතිචාරයක් දැකගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තුවක් නොතිබුණේ නම් මා මෙම අත්හදා බැලීම සඳහා සහභාගි වෙන්නේ නැහැ. මුල් දත්ත මගින් අපිට ලොකු විශ්වාසයක් ඇති වුණා. ප්‍රතිදේහ මගින් මධ්‍යස්ථ ප්‍රතිචාරයක් ලැබෙන බව දක්නට ඇත. ආසාදනයෙන් ආරක්ෂා වීමට නම් ඔබේ ප්‍රතිශක්තිකරණය ප්‍රතිචාරය දැක්විය යුත්තේ ඒ ආකාරයටය. නමුත් මෙම එන්නත ඇගයීමට ලක් කිරීම සඳහා කළ යුතු තව බොහෝ දේ තිබේ.”
මෙම සමීක්ෂණයට එක්සත් රාජධානියේ ආණ්ඩුව මගින් £41m අරමුදලක් සහ වෙනත් පරිත්‍යාග මගින් £5m මුදලක් ලැබී ඇති බව සඳහන්ය.

(බීබීසී ඇසුරිනි)
එස්. දහනායක
[ජුනි25, 2020 - Gossiplankanews.com]