සැක සහිත අන්දමින් රුපියල් බිලියන 2.6ක මුදලක් යොදවා කොළඹ 07 හෝර්ටන් පෙදෙසේ පිහිටි ආසිරි රෝහලට අයත් ඉඩම මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ ව්‍යපාරික යුවළක් ලබන 07 වැනිඳා තෙක් රක්ෂිත
බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්නමෙනෙවිය ඊයේ (24) නියෝග කළාය.

 මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ රේල්වේ ඇවනිව් නුගේගොඩ පදිංචී රියෙන්සි මහේෂ් එඩ්වඩ් හා පුණ්‍යා ප්‍රියංජී මැණිකේ එඩ්වඩ් යන අඹුසැමි යුවළය.
සැක කටයුතු අන්දමින් විදේශ මුදල් මෙරටට ගෙන්වා එකී මුදල් යොදවා කොළඹ ආසිරි රෝහලට අයත් ඉඩම් ඇතුළු දිවයිනේ විවිධ දේපළ මිලට ගත් බව කියන සිද්ධියක්
 සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් කරන ලද පරික්ෂණයකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට
ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.

පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව මූල්‍ය අපරාධවිමර්ශන කොට්ඨාසයේ ඒකක අංශ 4 ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරික්ෂක රණසිංහ මහතා විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ ඉකුත් 2015 වර්ෂයේ ජුලි මස 29 වැනිදා ය.
 එහිදී අධිකරණයෙන් ලබාගත් නියෝග ප්‍රකාරව ප්‍රශ්නගත
දේපළ මිලදී ගැනීමට මුදල් යෙදවූ ආකාරය සම්බන්ධයෙන් බැංකු ලේඛන  ලබාගෙන විමර්ශනය  සිදුකිරීමේදී එම දේපළ මිලදී ගැනීම සඳහා නීතිඥ රොමේෂ් මද්දුමබණ්ඩාර කරලියැද්ද යන  අයට අයත් බැංකු ගිණුම් හර කොට බැංකු අණකර මගින් දේපළ විකුණුම්කාර ආසිරි සෙන්ටල් හොස්පිටල් පුද්ගලික සමාගම වෙත රුපියල් බිලියන 2.7ක මුදලක් ගෙවා ඇති බවට අනාවරණය වී ඇතැයි පැමිණිල්ල අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
රොමේෂ් මද්දුමබණ්ඩාර කරලියැද යන අය විසින් සැකකාර  රියන්ස් මහේෂ් එඩ්වඩ් යන අය සමග ඇති කර ගන්නා ලද  ගිවිසුමකට අනුව මෙම මුදල් රොමේෂ් මද්දුමබණ්ඩාර යන
 අයගේ ගිණුම වෙත විදේශ රටවලින් ගෙන්වා ගැනීමට කටයුතුකර ඇති බවත් විමර්ශනයේදී වැඩිදුරටත් අනාවරණය වූ බව  ද පැමිණිල්ල අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත. ඒ සඳහා කරලියැද්ද නමැත්තා සියයට පහක මුදලක් ලබා ගැනීමට ගිවිසුම්ගත වී ඇති බවත් පැමිණිල්ල සඳහන් කර තිබිණි.

 එසේම, අධිකරණ නියෝග ප්‍රකාරව රියන්සී මහේෂ් එඩ්වඩ් යන  අය  සහ ඔහුගේ බිරිද පුණ්‍යා ප්‍රියංජී මැණිකේ එඩ්වඩ්, රොමේෂ්  මදුමබණ්ඩාර කරලියැද්ද හා ඔහු අධ්‍යක්ෂවරයකු වශයෙන්  කටයුතු කළ එල්. බී. කරලියැද්ද ඇසෝසියේටිස් නමින් පවත්වාගෙන යනු ලබන ගිණුම් සම්බන්ධයෙන් පරික්ෂා කිරීමේදී එම ගිණුම් වෙත විදෙස් රටවලින් මුදල් බැරවී ඇති බවට අනාවරණය වූ බවද මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය  අධිකරණයට කරුණු වාර්තා කර ඇත.ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය වරදේ
බරපතළතාව හේතුවෙන් සැකකරුවන් ලබන 07 වැනිදා තෙක්  රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.

(නිමන්ති රණසිංහ)