[Trending][btop]
[News][stack]

ලංකාවේ දිවියන් පිළිබඳව වෛද්‍ය කිට්ල් සොයාගත් නවතම තොරතුරු

සුගිය අවුරුදු 15 පුරාවට ශ්‍රී ලංකාව තුළ සිටින දිවියන් පිළිබඳ දැනුම වැඩිදියුණු කරගැනීමේ උත්සාහයක වන සංරක්ෂණ සහ වන ජීවි සංරක්ෂණ භාරය (WWCT) විසින් කටයුතු කරමින් තිබෙයි. දිවයින තුළ දිවියන් විසිරී සිටින ආකාරය පිළිබඳව ඔවුන්ගේ සමීක්ෂණ මගින් දත්ත රැස් කර ඇති අතර ඉදිරියේදී දිවියන්ව සංරක්ෂණය කිරීම සඳහා අනාරක්ෂිත සහ පෙනෙන ආකාරයට හුදෙකලා වනාන්තර පෙදෙස් ප්‍රයෝජනවත් වන අයුරු
පිළිබඳව එම සමීක්ෂණ දත්ත මගින් අවධාරණය කරන බව සඳහන්ය.
WWCT බිහි වීමට මුල් වී කටයුතු කළ පුද්ගලයෙකු වන වෛද්‍ය ඇන්ඩෘ කිට්ල් පවසා සිටියේ මෙවැනි සතුන් හසු කරගැනීම සඳහා උගුල් ඇටවීම දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ක්‍රමයෙන් නතර කළ යුතු බවය.

එමෙන්ම එවැනි උගුල් ඇටවීමේ ක්‍රම කුරිරු සහ අක්‍රමවත් ඒවා බවත් ජීවිතය අගය කරන සමාජයක් තුළ සහ වෙනත් ජීවීන් සමඟ සහජීවනයෙන් වෙසීම අගය කරන සමාජයක් තුළ එවැනි ක්‍රියා සිදු විය නොහැකි බවද ඔහු අදහස් දක්වා තිබේ.
වෛද්‍ය කිට්ල් යනු සත්ත්ව විද්‍යාඥයෙකු වන අතර ඔහු විවිධ මහාද්වීපවල ජීවත් වන විශාල මාංශ භක්ෂක සතුන් පිළිබඳව අධ්‍යයනය කරමින් සිටියි. එයට උතුරු ඇමරිකාවේ වෙසෙන වෘකයන් සහ නැගෙනහිර අප්‍රිකාවේ වෙසෙන සිංහයන් සහ හයිනා ලෙස හැඳින්වෙන සත්ත්ව වර්ග ඇතුළත්ය.

එමෙන්ම ඔහු 2002 සිට IUCNහි බළල් විශේෂඥ කණ්ඩායමේද සාමාජිකයෙක්ය. ඔවුන් විසින් සිදු කර තිබෙන සමීක්ෂණ ජාත්‍යයන්තර මට්ටමෙන් පළ වී ඇති අතර ශ්‍රී ලංකාවේ වෙසෙන දිවියන් පිළිබඳව ඔවුන් සිදු කර තිබෙන සමීක්ෂණ IUCNහි ගෝලීය වඳ වී යෑමේ තර්ජනයට ලක් වී ඇති ජීවීන්ගේ ලැයිස්තුවට තොරතුරු ලබා දේ.

අයිලන්ඩ් පුවත්පතෙහි කෙටි සම්මුඛ සාකච්ඡාවකට එක් වූ වෛද්‍ය කිට්ල් පවසා ඇත්තේ පවතින නීති පිළිබඳව පුද්ගලයන් පැහැදිලිව දැනුවත් විය යුතු බවය. එවිට ලැයිස්තුගත කර තිබෙන ජීවීන්ව හසු කරගැනීමට ඔවුන් උගුල් ඇටවීම සිදු නොකළ යුතු බව දැනගනු ඇතැයි කියාය. “බොහෝ දෙනෙකු සිතන්නේ වල් ඌරන්ව මැරීමට තමන්ට අවසර තිබෙන බවය. එම නිසා ඔවුන් උගුල් ඇටවීම සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා. නමුත් අප දන්නා පරිදි යම් විශේෂිත සතුන් වර්ගයක් පමණක් හසු කරගැනීමට උගුල් ඇටවිය නොහැකි අතර උගුලකට හසු වන ඕනෑම සතෙකු මරණයට පත්‍ වේ.
 බොහෝවිට පුද්ගලයන් උගුල් ඇටවීමේ ක්‍රමය භාවිත කරන්නේ ඔවුන් සතුව තිබෙන සම්පත් හිඟය සහ නොසැලකිල්ල හේතුවෙන් වන නිසා ඔවුන් එවැන්නක් සිදු කළ වහාම ඔවුන්ව සිරගත කිරීම අපට කළ නොහැක්කක්ය. එමනිසා මිනිසුන් ඒ පිළිබඳව දැනුවත් වීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය වන අතර ප්‍රමාණවත් කාලයක් ගත වී මෙම පණිවිඩිය මිනිසුන් අතරට ගමන් කළ පසුව එය කඩ කරන්නන්ට දැඩි දඬුවම් පැනවීම අවශ්‍යය” කියා ඔහු පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ වන ජීවී දෙපාර්තුමේන්තුව විසින් ගෙන තිබෙන තීරණ පිළිබඳව, විශේෂයෙන්ම අලියන් සහ දිවියන් පිළිබඳව විමසූ විට ඔහු අදහස් දක්වා තිබෙන්නේ මෙසේය. “ශ්‍රී ලංකාවේ වන ජීවීන් වෙනුවෙන් එම දෙපාර්තුමේන්තුව අවංක උත්සාහයක් ගන්නා බව අපට හැඟී යයි. ඔවුන්ගේ කාර්යමණ්ඩලය සහ ඔවුන්ගේ අරමුදල් හිඟ බව සත්‍යයක්ය. ඔවුන්ගේ කැමැත්ත පරිදි වන ජීවීන්‍ වෙනුවෙන් පියවර ගැනීමට එය ඔවුන්ට බාධා ඇති කරයි. සතුන්ව මරා දැමීමේ සිදු වීම් වාර්තා වන විට ඔවුන්ට ‍බොහෝදෙනාගේ ‍චෝදනා එල්ල වනු දැකගත හැකිය. නමුත් මෙය කොතරම් දුෂ්කර කාර්යයක්ද කියා අපට අද්දැකීමෙන් පැහැදිලි වේ. වන සතුන් සමඟ කටයුතු කිරීම ඉතා දුෂ්කරය. එමෙන්ම යම් තත්ත්වයන් උද්ගත වන විට එම සතුන් තුළ ඇති වන පීඩනය මත එය තවදුරටත් දුෂ්කර විය හැකිය. මේ සඳහා ගත හැකි එක් පියවරක් වන්නේ සිදු වීමක් වී ඇති ස්ථානයක මහජනයා එක්රැස්වීම වැළැක්වීමය.

මන්දයත් බොහෝ දෙනා එක්රැස්වීමේදී උගුලට හසු වූ හෝ තුවාල වූ සතුන් විශාල පීඩනයකට ලක් විය හැකිය. ශ්‍රී ලංකාව තුළ මෙය පහසු කාර්යයක් නොවන බව පැහැදිලි අතර මේ සම්බන්ධයෙන් තවත් දියුණු විය යුතුය. එමෙන්ම සාමූහික වෑයමක් වැදගත්ය. යම් අඩුපාඩුවක් සිදු වූ විට සමාජ මාධ්‍ය හරහා එය පහසුවෙන්ම මහජනයාට දැකගත හැකිය. මම සිතන ආකාරයට තමන් දියුණු විය යුතු ක්ෂේත්‍ර පිළිබඳව වන ජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව අවධානයෙන් පසු වෙනවා ඇති. එමෙන්ම එවැන්නක් අවධානයට ලක් වූ විට එම ක්ෂේත්‍රයෙන් දියුණු වීමට ඔවුන් උත්සාහ කරනවා ඇති.”


ශ්‍රී ලංකාව තුළ වෙසෙන දිවියන් සංඛ්‍යාව පිළිබඳව විමසූ විට ඔහු පැවසුවේ මෙසේය. “එය නිශ්චිතවම පැවසීම දුෂ්කරය. නමුත් ගණන් බලා ඇති ආකාරයට ශ්‍රී ලංකාව තුළ හොඳින් වැඩුණ දිවියන් 800ක් පමණ (550ත් 1100ත් අතර ප්‍රමාණයක්) දිවි ගෙවති. ගෝලීය වශයෙන් ගත් කළ ලොව පුරා වෙසෙන දිවියන් අතරින් කලු දිවියන් සියයට 11ක් වෙසේ. නමුත් එය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන අතර ඇතැම් ප්‍රදේශවල කලු දිවියන් වෙසෙන නමුත් තවත් ප්‍රදේශවල කලු දිවියන් දක්නට නොහැකිය.

නිරිත දිග සිංහරාජයේ 2009දී සහ 2013දී මිය ගිය කලු දිවියන් පිළිබඳව අප දනිමු. එමෙන්ම ශ්‍රි ලංකාවේ වෙනත් කොටස්වලද කලු දිවියන් වෙසී ඇති බව ‍ඓතිහාසික සාක්ෂි කියා පාති. අප දිවයින පුරාවට බොහෝ පරීක්ෂණ සිදු කර තිබුණද කිසි දිනක කලු දිවියෙකුගේ ඡායාරූපයක් ගැනීමට අපට නොහැකි විය. ඉන් හෙළි වන්නේ ශ්‍රී ලංකාව තුළ කලු දිවියන් දක්නට ලැබෙන්නේ කලාතුරකින් බවය.”

ඖෂධ සඳහා සහ වෙනත් අරමුණු උදෙසා දිවියන්ගේ කොටස් යොදාගන්නේද කියා කළ විමසීමකදී වෛද්‍ය කිට්ල් පවසා තිබෙන්නේ ඇතැම් සම්ප්‍රදායික ඖෂධ සහ ආභරණ නිපදවීමේදීද දිවියන්ගේ කොටස් යොදාගැනෙන බවය.
(“The Island” පුවත්පතට ඉෆ්හාම් නිසාම් විසින් පළ කරන ලද ලිපියක් ඇසුරිනි)
එස්. දහනායක