මැයි 3 වෙනිදා අධික කැස්සක් සහ පපුවේ වේදනාවක් හේතුවෙන් රෝහල්ගත කරන ලද ඇන්ජලා සෙනවිරත්නගේ ජීවිතයේ කලු පිටුවක් පෙරලුණි. අවුරුදු 30කටත් වැඩි කාලයක් පුරාවට දෙවෙනි වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන ඇන්ජලා පසුවන්නේ වකුගඩු අක්‍රීය වීමේ අවසාන අදියරෙහි බව
හඳුනාගෙන තිබේ. ඉක්මනින්ම වකුගඩුවක් පරිත්‍යාග කරන පුද්ගලයෙකු ඇයට හමු නොවුණොත් ඇයගේ ජීවිතය පවතින්නේ අනතුරක බව ටීනා එඩ්වඩ් ගුනවර්ධන විසින් “ඩේලි මිරර්” පුවත්පතට පළ කළ ලිපියක සඳහන් විය.
ඇන්ජලා සෙනවිරත්න යනු උස සහ හීන්දෑරී පෙනුමකට මෙන්ම ප්‍රේක්ෂකයන්ගේ සිත් සතන් ආනන්දයෙන් පුරවාලීමට සමත් උච්චාරණ හැකියාවකට සහ බුද්ධියකට උරුමකම් කී රංගන ශිල්පිනයක්ය. නිරූපිකාවක් ලෙස වෘත්තියට ඇතුල් වූ ඇන්ජලා 1975දී මිස් ශ්‍රී ලංකා වෙතට ඇතුල් වූ ඇය මිස් ලෝක තරඟාවලියෙන් ජයග්‍රහණය කිරීමට සමත් විය. මෙය රටේම අවධානයට ලක් වූ අතර වැඩි කල් යෑමට පෙර ඇයට බොහෝ චිත්‍රපට සඳහා ආරාධනා ලැබිණ.
 ශ්‍රී ලංකාව තුළ සුප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු වූ ගාමිනි ෆොන්සේකාට බිරිඳ වූ ඇයට එම විවාහයෙන් දරු දෙදෙනෙකු උරුම විය.
දරුවන් තිදෙනෙකුගේ (ඇගේ වැඩිමහල් දියණිය ඇයට ලැබුණේ මාලදිවයින ජාතිකයෙකු සමඟ සිදු වූ පළමු විවාහයෙන්) මවක් වන ඇන්ජලාට ජීවිතයේ විවිධ හැල හැප්පීම්වලට මුහුණ දුනි. දැන් වයස හැට ගණන්වල පසුවන ඇය මෙම කටුක සෞඛ්‍ය තත්වයට ධෛර්යවත්ව මුහුණ පාන බව වාර්තා වේ.

මෙම ලිපියෙහි ලේඛිකාව වන ටීනා ගුනවර්ධන පවසන්නේ අවුරුදු ගණාවක් පුරා ඇන්ජලා තම මවගේ මිතුරියකව සිටි බවය. අවුරුදු ගණනාවක් පුරා ඔවුන්ගේ මිත්‍රත්වය පැවත ඇති අතර පිළිකා රෝගයක් සමඟ සටන් වදිමින් සිටි තම මවට ඇන්ජලා දැක්වූ කාරුණික සැලකිල්ලා ටීනා සිහිපත් කරයි. තම මව ලෙඩ ඇඳේ සිටියදී සෑම දිනකම පාහේ ඇන්ජලා තමන්ට කෙටි පණිවිඩ එවූ බවත් මවට පෙන්වීම සඳහා හෘදයාංගම වීඩියෝ පණිවිඩ එවූ බවද ටීනා පැවසීය. ඇන්ජලාගේ වදන් ඇසූ මව තුළ ප්‍රීතියක් ඇති වී තිබේ. කරුණාවන්තකම සහ දයාව ඇන්ජලාගේ පෞද්ගලිකත්වයේ දක්නට ලැබුණු අලංකාර ගුණාංග බව ටීනා පවසයි. පහතින් දැක්වෙන්නේ ඇන්ජලා සෙනවිරත්න සමඟ “ඩේලි මිරර්” සිදු කළ සංවාදයක්ය.

ඔබ අසනීප තත්වයකින් පසු වන බව ඔබ දැනගත්තේ කවදාද?
2020 මැයි 4වෙනිදා ශ්‍රී ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේදී.

ඔබ තුළ දක්නට ලැබුණු රෝග ලක්ෂණ මොනවාද?
2020 මැයි 3වෙනිදා ඇඳිරි නීති කාලසීමාව අතරතුර මා නිවසෙහි සිටින විට මට අන්දමන්ද ගතියක් සහ ඉඳගන්නා විට හෝ හාන්සි වන විට තද නිදිමත ගතියක් දැනුණා. මට ලොකු උදාසීන ගතියක් දැණුන අතර වැසිකිළි යාමේ අවශ්‍යතාවය දැනුණද එය නියමිත ලෙස සිදු කරගත නොහැකි වුණා. සිරුරෙහි මද රස්නේ ගතියක්, කැස්සක් සහ පපුවේ දෙපැත්තේ විශාල වේදනාවක් දැනුණා. පහුවදා රුධිර පරීක්ෂණයකට යොමු වුණා. ‍පහළ වූ ලක්ෂණවල කිසිම අඩුවක් නොතිබුණ බැවින් ඉක්මනින්ම රෝහල්ගත වන ලෙස මට උපදෙස් ලැබුණා. වකුගඩු අක්‍රීය වීමේ අවසන් අදියරෙහි මා පසු වන බවද මුත්‍රා ආසාදනයක්, වකුගඩුවක ගලක් සහ මගේ පෙනහළුවල වතුර තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර ශික්ෂණ රෝහලට ඇතුල් වූ පසුව මට දැනගන්න ලැබුණා. ඉක්මනින්ම රුධිර කාන්දු පෙරණය සිදු කිරීමට අවශ්‍ය ලියවිලි මට අත්සන් කිරීම සඳහා ඔවුන් ලබා දුන්නද ප්‍රධාන වෛද්‍යවරයා ඔහුගේ සිත වෙනස් කරගෙන මාව නිරීක්ෂණය යටතේ තබාගත් අතර IV සහ මුඛයෙන් ලබාගන්නා ඖෂධ මට ලබා දුන්නා.

ඔබට දැන් දැනෙන්නේ කෙසේද?
ශරීරයේ අවයවවල ඉදිමීමක්, කැසීමක් හෝ වෙනත් රෝග ලක්ෂණ මා තුළ දක්නට නැහැ. නමුත් මට නිතරම වෙහෙසක් දැනෙනවා.

වකුගඩු අක්‍රීය වීමේ අවසන් අදියරට පැමිණියේ කෙසේද?
මට අවුරුදු 30ක් පුරාවට දෙවෙනි වර්ගයේ දියවැඩියාව තිබුණා. මගේ ආහාර පාලනයේ මදකම නිසා මෙය ඇති වූයේ. නමුත් වකුගඩුවලට හානි වීම සිදු වී තිබෙන්නේ ඉතා නිශ්ශබ්දවයි. මට වකුගඩු රෝග ඇති වීමේ අවදානමක් තිබෙන බව වෛද්‍යවරයෙක් පවසා තිබුණද මට කිසිම අසනීප තත්ත්වයක් දැනුණේ නැහැ.

ලබාගත හැකි ප්‍රතිකාර පිළිබඳව වෛද්‍යවරයා පවසා තිබෙන්නේ මොනවාද?
මට තේරීම් තුනක් ඉදිරිපත් කර තිබෙනවා. පළවැන්න වන්නේ මෙම කාරණයේ බරපතළකම තේරුම් අරගෙන කිසිවක් නොකර මගේ ජීවිතය අවසන් වීමට ඉඩ හැරීම. දෙවැන්න වන්නේ ජීවිතාන්තය දක්වා රුධිර කාන්දු පෙරණය සිදු කිරීම. තුන්වැන්න වන්නේ වකුගඩුවක් බද්ද කිරීම.

වකුගඩුව බද්ධ කිරීම සිදු කරගන්න බලාපොරොත්තු වන්නේ කොහේදීද?
ශ්‍රී ලංකාව තුළ දක්ෂ සහ පළපුරුදු වෛද්‍යවරුන් සිටින බැවින් ජාතික රෝහලේදී මගේ සැත්කම සිදු කරගැනීමට බලාපොරොත්තු වෙනවා.

වකුගඩුවක් පරිත්‍යාග කරන පුද්ගලයෙකුට තිබිය යුතු සුදුසුකම් මොනවාද සහ ඊට කැමති කෙනෙකු කළ යුත්තේ මොනවාද?
A+ වර්ගයේ වකුගඩුවක් විය යුතුයි. සෞඛ්‍යසම්පන්න පුද්ගලයෙකු විය යුතුයි. වෛද්‍යවරුන් විසින් ඉල්ලා සිටින පරීක්ෂණවලට භාජනය වීමට කැමැති විය යුතුයි. මා මුහුණ දෙන තත්ත්වය අනුව පරිත්‍යාග කරන පුද්ගලයා වයස 30 සහ 45 අතර සිටිය යුතුයි.

ප්‍රතිකාර සඳහා වැය වන වියදම් ඔබ විසින් දරනවාද?
වෛද්‍යවරුන්ව හමු වීමට සහ පරීක්ෂණ සිදු කිරීමට වැය වන වියදම් මම දරනවා. මා සම්බන්ධයෙන් සහ වකුගඩුව පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් සැත්කම් සිදු වන්නේ ජාතික රෝහලේ නොමිලේ. ඖෂධ ලබා දෙන්නෙත් නොමිලේ.

වකුගඩුවක් බද්ධ කිරීමට කොපමණ කාලයක් වැය වෙනවාද?
පරීක්ෂණ සිදු කිරීමේ ක්‍රියාවලියේ සිට ශල්‍යකර්මය දක්වා මාස දෙකක් දක්වා කල් ගත විය හැකියි. සුව වීමට දින 7 සිට 9 දක්වා රෝහල්ගත වී සිටීමට සිදු විය හැකිය. සම්පූර්ණ සුවය ලැබීමට මාස 6ක් දක්වා විෂබීජවලින් ආරක්ෂා විය යුතුයි.

වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙක් කළ යුත්තේ මොනවාද?
මගේ කළමණාකාර කණ්ඩායම ඇමතිය යුතුයි. ඉරාජ් අබේවර්ධන - 0777310144 සහ රෝහිත 0714910324. ඇමතීමෙන්, වට්සැප් හෝ එස් එම් එස් පණිවිඩියක් මගින් හැකි ඉක්මනින් තොරතුරු යොමු කළ යුතු අතර වෛද්‍යවරයා හමු වීමට සහ පරීක්ෂණවලට යොමු වීමට සූදානම් විය යුතුයි.

ඔබ වෙනුවෙන් ඉදිරිපත් වන පුද්ගලයෙකුට ඔබ පවසන පණිවිඩය කුමක්ද?
ඔබේ අසීමිත පරිත්‍යාගශීලි ස්වභාවයට මම ස්තුතිවන්ත වෙනවා. මගේ ජීවිතය රැක දීම නිසා ඔබට බොහෝ ආසිරි ලැබෙන්න කියා පතනවා. ම‍ගේ සුවය පතන සියලු දෙනාට ස්තුතියි.

(“ඩේලි මිරර්” පුවත්පතට ටීනා එඩ්වඩ් ගුනවර්ධන විසින් පළ කළ ලිපියක් ඇසුරිනි)

එස්.දහනායක
[June11, 2020 - Gossiplankanews.com]