පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ගත්තේ රුපියල් කෝටි 100ක් පමණ වටිනා හෙරොයින් තොගයක්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුට විකිණු බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේම පොලිස් නිලධාරින් සිවුදෙනා අතුරින් පොලිස් සැරයන්වරයකුගේ මහව දළදාගම ප්‍රදේශයේ පිහිටි ඉඩමහි සුරක්‍ෂිත ලෙස
සඟවා තිබු රුපියල් තුන් කෝටි එකොළොස් ලක්ෂයකට අධික මුදලක් පොලීසිය විසින් සොයාගනු ලැබ ඇත.

අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට සිවුදෙනාගෙන් හෙළිකරගත් තොරතුරු මත රහස් පොලිස් කණ්ඩායමක් මහව ප්‍රදේශයට ගොස් මෙම මුදල් තොගය සොයාගෙන ඇත.අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 100ක් පමණ වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 100ක් ජාවාරම්කරුවන්ට විකිණූ බවට පොලිස් නිලධාරින් සිවුදෙනකු ඇතුළු සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම මුදල් ඔවුන් අතර බෙදාගන්නා තෙක් අදාළ පොලිස් සැරයන්වරයාගේ ඉඩමේ වළලා තබන්නට ඇතැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඊයේ (28) පැවසීය.


පොලිස් මන්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ උපපොලිස් පරීක්‍ෂකවරයකු, පොලිස් සැරයන්වරුන් දෙදෙනකු, පොලිස් කොස්තාපල්වරයකු සහ තවත් පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට පත්ව සිටින අතර, ඔවුන් රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන රහස් පොලීසිය පරික්‍ෂණ පවත්වාගෙන යයි. මෙම ඉඩමේ තිබූ රුපියල් 3,11,45,000ක මුදලක් පොලීසියට හමුවී ඇති අතර ඒ ඔවුන් හෙරොයින් මත්ද්‍රව්‍ය විකිණීමෙන් ලබාගත් මුදලින්
කොටසක් බව පරික්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි ද එම පොලිස් නිලධාරියා සඳහන් කළේය.

රහස් පොලිස් අත්අඩංගුවේ පසුවන මෙම පොලිස් නිලධාරින් මත්ද්‍රව්‍ය තොගය  විකුණා ලබාගත් රුපියල් කෝටි ගණනක මුදල් ඔවුන්ගේ බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති බව පරික්‍ෂණවලින් පෙනීයන බව ද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීවේය. අධිකරණ නියෝග ලබාගෙන එම ගිණුම් පරික්ෂා කර බැලීමට ද රහස් පොලිසිය කටයුතු කරගෙන යයි. මීට අමතරව මෙම පොලිස් නිලධාරින්ගේ වත්කම් හා දේපොළ සම්බන්ධයෙන් ද රහස් පොලීසිය පරික්‍ෂණ පවත්වාගෙන යයි.

මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කර රුපියල් කෝටි ගණනින් මුදල් උපයාගෙන ඒවායින් දේපොළ ලබාගෙන ඇති බවට ඇතිවූ සැකයක් මත මෙම පරික්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි උපපොලිස් පරික්ෂකවරයකු, මහව දළදාගම ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයකු, අළුබෝමුලේ පදිංචි සැරයන්වරයකු, කරදෙණිය ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයකු සහ එම කොස්තාපල්වරයාගේ ඥාති සහෝදරයෙකි.

මීට පෙර 2017 වසරේදී මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය එවකට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරි කළ ප්‍රධාන පොලිස් පරික්‍ෂක නියෝමාල් රංගජීව මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමකට පිළියන්දල ප්‍රදේශයේදී පාතාල මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියක් විසින් වෙඩි තැබීමේ සිද්ධිය පිටුපස ද මෙම නිලධාරින් සිටින බවට තොරතුරු ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් ද රහස් පොලීසිය පුළුල් පරික්‍ෂණ පවත්වාගෙන යයි.

මෙම වෙඩි ප්‍රහාරයෙන් ප්‍රධාන පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා බරපතළ තුවාල ලැබීය. අත්අඩංගුවට ගෙන සිටින පොලිස් කොස්තාපල්වරයාගේ ඥාති සහෝදරයා සැකකාර පොලිස් නිලධාරීන් සමග කුලී පදනම මත ලබාගත් වෑන් රථයකින් හෙරොයින් මත්ද්‍රව්‍ය තොග යම් යම් ප්‍රදේශවලට ප්‍රවාහනය කර ඇති බව ද රහස් පොලිසිය මෙතෙක් කළ පරික්‍ෂණවලින් අනාවරණය වී ඇතැයි පැවසේ.

 ඩුබායි රටට පළාගොස් සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙම පොලිස් නිලධාරින් එරට සිට මෙහෙයවා ඇති බව ද රහස් පොලිස් පරික්‍ෂණවලින් හෙළිවී ඇතැයි ද වාර්තා වේ. මෙම සැකකරුවන් කාර්යාංශය භාරයට ගෙන තිබූ හෙරොයින් මන්ද්‍රව්‍ය තොගය කොස්ගොඩ, බේරුවල, මහරගම, කොට්ටාව සහ මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනකුට විකුණා ඇති බව පැවසේ.


සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරිමේදී මේ බව අනාවරණය විණියැයි පොලිස් ආරංචි මාර්ග කියයි. වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ, රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක රහස් පොලිස් කණ්ඩායමක් සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් පරික්‍ෂණ පවත්වාගෙන යයි.

 මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂක ආර්.ඒ.ඩී. රොහාන් මහේෂ් මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මීට සති තුනකට පමණ ඉහතදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහක් සමග චමින්ද දයා ප්‍රියාන් හෙවත් ටයිල් චමින්ද නමැත්තකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමේදී මෙම පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් ද තොරතුරු හෙළි වී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.

ටයිල් චමින්ද  නමැත්තාගෙන් ප්‍රශ්න කිරීමේදී රිසිටර් වර්ගයේ ගිනි අවියක් ද පසුව සොයාගෙන ඇති අතර, දිවුලපිටිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක එම සැකකරුට අයත් ගිණුමකින් - රුපියල් කෝටි ගණනින් මුදල් හුවමාරු වන බවට ද තොරතුරු මිනුවන්ගොඩ පොලිසිය විසින් හෙළිකරගනු ලැබ ඇත. මේ අතර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ජේ. සිල්වා මහතාගේ මාතර
කාර්යාලයේදී පෙරේදා (27) පැවති මාධ්‍ය හමුවක් අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් මෙම පොලිස් නිලධාරින් සිවුදෙනා 1979 අංක 47 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන විමර්ශන සිදුකරන බවයි.

ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්වී උපයාගත් මුදලින් කැබ් රථ, යතුරුපැදි ආදී යානවාහන හා දේපොළ විශාල වශයෙන්ම මිලදීගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.  මෙයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත, තරාතිරම නොබලා නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ද සේනාරත්න මහතා සඳහන් කළේය.

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ අකුරැස්ස සුජීව සමරක්කොඩි)