සුදු පැහැයට හුරු කිසියම් වස්තුවක් පේරාදෙණිය, මෙගොඩ කළුගමුව, ජේම්ස් බෞද්ධ මධ්‍යස්ථාන භූමියට පතිත වී ඇතැයි වාර්තා වේ. විහාර භූමියේ ඉදිකෙරෙමින් ඇති චෛත්‍ය පරිශ්‍රයට පෙරේදා  (20) රාත්‍රියේ හෝ
ඊයේ (21) අළුයම පතිතව ඇති මෙම වස්තුව  උල්කාශ්මයක් යැයි සිතන බව විහාරාධිපති යටියන්තොට චන්දානන්ද හිමියෝ පැවසූහ.

බරින් ග්‍රෑම් 1605 ක්, දිගින් සෙන්ටිමීටර් 16 ක් හා උසින් සෙන්ටිමීටර් 7ක් වන එම අභ්‍යවකාශ වස්තුව වැඩිදුර අධ්‍යයන කටයුතු සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා වෙත භාරදීමට පියවර ගත් බවද උන්වහන්සේ සඳහන් කළහ.

 මෙම අභචකාශ වස්තුව පිළිබඳව දැනගත් මොහොතේ සිට එය දැකබලාගැනීමට ප්‍රදේශවාසීන් වැලනොකැඩී පැමිණෙමින් සිටින බව වාර්තා වේ.  තමන් ප්‍රදේශවාසීන් හා එක්ව විහාර භූමියේ තවත් එවන් වස්තූන් තිබේදැයි පරික්ෂා කළ නමුත් එවන් වෙනත් කිසිවක් හමුනොවූ බවද විහාරාධිපති හිමියෝ පැවසූහ.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාගෙන් මේ සම්බන්ධව කළ විමසුමකදී ඔහු පැවසුවේ ලෝහමය හා පාශාණමය ලෙස උල්කාශ්ම දෙවර්ගයක් ඇති බවත් මෙගොඩ කළුගමුවෙන් හමුවූ වස්තුව උල්කාශ්මයක ගති ලක්ෂණ පෙන්නුම් කරන බවත්, අදාළ පාෂාණමය සම්බන්ධයෙන් මූලික අම්ල පරික්ෂණයක් ද සිදුකළ යුතු බවත්ය.

එම පරික්ෂණයේදී එය කැල්සියම් කාබනේට්, කැල්සයිට් වැනි චූර්ණමය ගති ලක්ෂණ එහි පෙන්නුම් කළ බව කී මහාචාර්යවරයා ඉදිරියේදී භූ ගර්භ විද්‍යා අංශය මගින් ඒ සම්බන්ධයෙන් පර්යේෂණ ගණනාවක් සිදුකිරීමට නියමිත බවද කීවේය. විධිමත් පර්යේෂණ ක්‍රියාවලියකින් අනතුරුව එය උල්කාශ්මයක්ද, නැද්ද යන්න නිශ්චය කිරීමට හැකිවනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)