නිල ඇඳුමෙන් සැරසී තම යතුරුපැදියෙන් ගංජා කිලෝ 10 යි, ග්‍රෑම් 100ක් ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු ඉකුත් 26 වැනිදා රාත්‍රි අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.

මෙම කොස්තාපල්වරයා හෙට 30 වැනිදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුමාර මහතා පොලිසියට අවසර දුන්නේය.
සැකකාර කොස්තාපල්වරයා පෙරේදා (27) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර පොලිසිය සැකකරුගේ ගංජා ජාවාරම ගැන වැඩිදුරටත් ප්‍රශ්න කිරිමට අවශ්‍ය බැවින් ඒ සඳහා රැඳවුම් නියෝගයක් ලබාදෙන්නැයි කළ ඉල්ලීම සැලකිල්ලට ගෙන අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම අවසරය ලබාදුන්නේය. ඒ අනුව පොලිසිය වැඩිදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන 46 හැවිරිදි මෙම සැකකාර කොස්තාපල්වරයා, අනුරාධපුර, ගල්කුලමේ, ලෙට්ටිමඩුව, පෙරිමියන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනුරාධපුර පොලිසියට අනුයුක්තව, දිගුකලක් තිස්සේ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියකුගේ නිල නිවසට පිවිසෙන ප්‍රධාන ගේට්ටුව අසල මුරකුටියේ රාජකාරි කළ මෙම සැකකාර කොස්තාපල්වරයා ගංජා ප්‍රවාහනය කරන ජාවාරමක යෙදෙන බවට උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට දින කිහිපයකට පෙර ලැබී තිබුණ තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ දිසා දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරි පිරිසක් අනුරාධපුර කුරුණෑගල - ප්‍රධාන මාර්ගයේ, ශ්‍රාවස්තිපුර, "තුරුලිය සෙවණ" අසලදී ඉකුත් සිකුරාදා (26) රාත්‍රී 9.00 ට පමණ යතුරුපැදියකින් තලාව දෙසට යමින් සිටි කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමට පියවර ගත්හ.

එහිදී ඔහුගේ යතුරුපැදියේ පසුපස අසුන අසල පොහොර උරයක බහා ගැටගසා තිබූ කිලෝ දහයයි ග්‍රෑම් 100 ක ගංජා ප්‍රමාණය සොයාගැනීමට හැකි වූ බවත්, ඊට අමතරව රුපියල් 40,000/- මුදලක් ඔහු ළග තිබී හමු වූ බවත් පොලිසිය අධිකරණය හමුවේ දන්වා සිටියේය.

සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය, ලෙට්ටිමඩුව, පෙරිමියන්කුලමේ ඔහු පදිංචිව සිටින නිවසද රාත්‍රියේම පරික්ෂා කර තිබුණි. එහෙත් නිවසේ ගංජා නොතිබුණු බව පොලීසිය පවසයි. පොලීසිය සිදුකළ පරික්ෂවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ උසස් පොලිස් නිලධාරියාගේ නිල නිවසේ ප්‍රධාන ගේට්ටුව අසල මුරකුටියේ ඉකුත් සිකුරාදා රාත්‍රියේ රාජකාරියේ නිරතව සිටින අතරතුර මොහු අනුරාධපුරයේ සිට තලාවේ පදිංචි තවත් ජාවාරම්කරුවකුට ලබාදීම සඳහා ගංජා පාර්සල් රැගෙන ගොස් තිබූ බවයි.

ඔහු සමග රාජකාරියේ නිරතව සිටි සිවිල් ආරක්ෂක බළකායේ භටයාට තමන් රාත්‍රී ආහාරය ලබාගැනීමට යන බව පවසා සිය රාජකාරි ගිනි අවියද මුරකුටියේ තබා යතුරු පැදියේ නැගී තලාව බලා යාමට පිටත්ව ගොස් තිබුණු බවද පොලිස් පරික්ෂණවලදී හෙළිවී තිබිණි. මෙම අනුරාධපුර දිසා දූෂණ මර්දන අංශයේ අධීක්ෂණ නිලධාරි පොලිස් පරික්ෂක දිනේෂ් මංජුල මහතාගේ මෙහෙයවීමෙන් එම අංශය භාර ස්ථානාධිපති පොලිස් සැරයන් විජේරත්න (32117), සැරයන් බණ්ඩාර (48317), කොස්තාපල්වරුන් වන රාජරත්න (66934), තරිඳු (7862l), දිසානායක (81188), කුමාර (83448), ආනන්ද (34027) සමග කාන්තා කොස්තාපල් මානෙල් (7215) යන මහත්ම මහත්මීහු වැඩිදුර පරික්ෂණ සිදුකරති.

(අතුළ බණ්ඩාර,අනුරාධපුර දයාරත්න ඇඹෝගම, තලාව උපුල් හේරත් සහ අනුරාධපුර බී.ජී.චතුරංග)