පොදු ස්ථානවල ගැවසෙන විට සියලුදෙනා මුහුණු ආවරණ පැළඳිය යුතු බව ඇමරිකානු මහජන සෞඛ්‍ය නිලධාරීන් විසින් සිදු කළ නිර්දේශයට හාත්පසින්ම වෙනස් නිර්දේශයක් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ඉදිරිපත් කර තිබේ. Covid-19 රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන පුද්ගලයන් ඇතුළුව නිරෝගි පුද්ගලයන් මුහුණු ආවරණ පැළඳිය යුත්තේ
වෛරසය ආසාදනය වී ඇති තැනැත්තෙකුව රැකබලා ගන්නා විට පමණක් බව WHO ප්‍රකාශ කරයි.
WHO වෙබ් අඩවියේ පළ කර ඇති වීඩියෝවක මහජන සෞඛ්‍ය විශේෂඥයෙක් වන වෛද්‍ය ඒප්රිල් බෝලර් පැවසුවේ “උණ, කැස්ස හෝ නාසය බුරුල් වීම වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ ඔබ තුළ පෙන්නුම් නොකරයි නම් ඔබ මුහුණු ආවරණ පැළඳීම අනවශ්‍යයි” කියාය. “මුහුණු ආවරණ පැළඳිය යුත්තේ සෞඛ්‍ය සේවකයන්, රෝගීන් රැකබලා ගන්නන් සහ උණ හා කැස්ස වැනි ‍රෝග ලක්ෂණ තිබෙන පුද්ගලයන් පමණයි” කියා එහි තවදුරටත් සඳහන් විය.
නමුත් රෝග පාලනය සහ වැළැක්වීම පිළිබඳ ආයතන (CDC) මගින් ඉල්ලා සිටින්නේ ආසාදනය වී තිබුණත් නැතත් වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම උදෙසා පොදු ස්ථානවල ගැවසෙන විට මුහුණු ආවරණ පළඳින ලෙසය.
“මෑතකදී සිදු කර තිබෙන පර්යේෂණ මගින් හෙළි වී තිබෙන පරිදි කොරෝනා වෛරසය ආසාදනය වන පුද්ගලයන් අතරින් සැලකිය යුතු පිරිසක් තුළ රෝග ලක්ෂණ නොපෙන්වන බව සහ ඇතැමුන් තුළ අවසානයේදී රෝග ලක්ෂණ පෙන්නුවද ඊට පෙර ඔවුන් මගින් තවත් බොහෝදෙනෙකුට රෝගය ආසාදනය වී ඇති බවද අප දන්නා කරුණක්” කියා CDC පවසයි. නවතම සාක්ෂි සලකා බැලීමෙන් පසුව CDC විසින් නිර්දේශ කරනු ලබන්නේ “සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම අභියෝගයක් වන පොදු ස්ථානවලදී රෙදිවලින් සකස් කළ මුහුණු ආවරණ පළඳින්න” කියාය.
WHO වීඩියෝවට අදහස් දැක්වූ බෝලර් පැවසුවේ, මුහුණු ආවරණ පැළඳීම මගින් මිනිසුන් තුළ “තමා ආරක්ෂිතයි කියා රැවටීමක්” සිදු වන බවත් තමන්ගෙන් වෙනත් පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් මුහුණු ආවරණ පැළඳිය යුතු බවත්ය. Fox News මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කළ විමසීමකට ඉක්මන් පිළිතුරු ලැබී නැත.

මුලින්ම සෞඛ්‍ය සේවකයන්ට සහ රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයන්ට මුහුණු ආවරණ පළඳින ලෙස නිර්දේශ කළ CDC, පසුගිය මාසය තුළ පොදු ස්ථානවලට යන මහජනතාවටද මුහුණු ආවරණ පළඳින ලෙස නිර්දේශ කළේය. නවතම අධ්‍යයනයක් මගින් නිර්දේශ කරන්නේ මුහුණු ආවරණ පළඳින ලෙස ලබා දී තිබෙන මඟ පෙන්වීමට මිනිසුන් කීකරු වන්නේ නම් කොරෝනා ආසාදනය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව සියයට 80කින් අඩු කරගත හැකි බවය. එම අධ්‍යයනයට ජාත්‍යයන්තර සමීක්ෂකයන් පිරිසක් විසින් අදහස් දක්වා තිබෙන්නේ “දැඩි නීති යටතේ අගුළු දැමීමකට වඩා ලොව පුරා සෑම අයෙකුම මුහුණු ආවරණ පැළඳීම මගින් ආසාදිත සංඛ්‍යාව අඩු කරගත හැකි” බවය.

(Louis Casiano විසින් Fox News වෙත පළ කළ ලිපියක් ඇසුරිනි)
එස්. දහනායක
[May30, 2020 - Gossiplankanews.com]