බ්‍රහස්පතින්දා දින ප්‍රකාශයට පත් කරන ලද පුළුල් අධ්‍යයනයකින් හෙළි වී තිබෙන්නේ පිළිකා වැළඳී නොමැති කොරෝනා ආසාදිතයන්ගේ මිය යෑමේ අවදානමට වඩා පිළිකාවක් වැළඳී තිබෙන ආසාදිතයන්ගේ මිය යෑමේ
අවදානම දෙගුණයකින් ඉහළ මට්ටමක තිබෙන බවය. මේ පිළිබඳව ABS-CBN පුවත් සේවයේ පළ වූ වොෂින්ටන් සිට රැගෙන එන වාර්තාවක් ඇසුරෙන් පහත තොරතුරු ඉදිරිපත් කර තිබේ.

එක්සත් ජනපදයේ, කැනඩාවේ සහ ස්පාඤ්‍ඤයේ රෝගීන් 900කට වැඩි ප්‍රමාණයක් ඇසුරින් ලබාගත් The Lancet පුවත්පතේ පළ වූ දත්ත මගින් පෙනී යන්නේ පිළිකා රෝගයෙන් පෙළෙන්නන් තුළ පිළිකාව වර්ධනය වන තරමටම ඔවුන් කොරෝනා හේතුවෙන් මරණයට පත් වීමේ අවදානමද වැඩි වන බවය.
එදිනෙදා කටයුතුවල ක්‍රියාශීලිව නිරත වන පිළිකා රෝගීන්ට වඩා එදිනෙදා ජීවිතයේ කටයුතු සිදු කරගැනීමට පවා අපහසු පිළිකා රෝගීන්ටද වැඩි අවදානමක් පවතියි.

Covid-19 වැළඳී ඇති බව හඳුනාගත් පුද්ගලයන් අතරින් කොපමණ පිරිසක් දින 30ක් ඇතුළත මිය ගොස් තිබේදැයි එම පුවත්පතේ කතුවරුන් විසින් සොයා බැලීය. ඔවුන් මරණයට පත් වීමට බලපෑ අමතර හේතුද තිබිය හැකිය. “කොරෝනා වෛරසය ආසාදනය වූ විවිධ හේතුන් මත දින 30ක් ඇතුළත මිය ගිය ප්‍රමාණය ආසාදිතයන්ගෙන් සියයට 13ක්ය. එය ජෝන්ස් හොප්කින්ස් විසින් වාර්තා කරන ලද ගෝලීය අනුපාතයට වඩා දෙගුණයකටත් වැඩිය” කියා පිළිකා ආයතනයක සේවය කරන ටෝනි නමැති විශේෂඥයා පවසයි.

කොරෝනා මරණ අවදානම ඉහළ යෑම කෙරෙහි මහලු වයස, පුරුෂයෙකු වීම, වෙනත් සෞඛ්‍ය ගැටලු එකක් හෝ දෙකක් තිබීම සහ කලින් දුම් පානය කිරීමේ පුරුද්දක් තිබීම වැනි හේතුද බලපාන බව එම කණ්ඩායම ප්‍රකාශ කරයි.
නමුත් COVID-19 හඳුනාගෙන සති හතරක් ඇතුළත ලබන කීමෝතෙරපි හෝ වෙනත් ප්‍රතිපිළිකාකාරක තෙරපි වර්ග ආසාදිතයා මරණයට පත් වීමට හේතු වූයේ නැත.
“මෙම සොයාගැනීම් මගින් හෙළි වන්නේ පිළිකා තත්ත්වයක් සමග වෙනත් රෝගාබාධ කිහිපයකින් පෙළෙන නමුත් එදිනෙදා කාර්යයන් කරගත හැකි පුද්ගලයන්ට ප්‍රතිපිළිකාකාරක ප්‍රතිකාර ලබාගත හැකි බවත් ඔවුන් එම ප්‍රතිකාර ලබාගත යුතු බවත්ය” කියා ටෝනි පවසයි. නමුත් එදිනෙදා වැඩකටයුතුවල ක්‍රියාශීලිව නිරත විය නොහැකි පිළිකා රෝගීන් සහ වර්ධනය වෙමින් පවතින පිළිකාවක් සහිත පුද්ගලයන් “ප්‍රතිපිළිකාකාරක ප්‍රතිකාර ලබාගැනීමේ වාසි අවාසි පිළිබඳව තම වෛද්‍යවරයා සමඟ විචාරාත්මක සංවාදයක නිරත විය යුතු” බව ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි.
ඇමරිකානු පිළිකා සංගමයේ ප්‍රධාන වෛද්‍ය සහ විද්‍යා නිලධාරී බිල් පැවසුවේ hydroxychloroquine සහ azithromycin යන ඖෂධ වර්ග දෙක එකවර භාවිත කිරීම මගින් මරණ අවදානම තුන් ගුණයකින් ඉහළ දමනවා කියාද ඉහත කී පුවත්පතේ වාර්තා වූ බවය. නමුත් මේ පිළිබඳව වැඩිදුර පර්යේෂණ සිදු කළ යුතුව පවතී. එම පුවත්පතේ කතුවරුන් පවා පැවසුවේ මේ පිළිබඳ නිශ්චිත නිගමනයකට එලඹීමට ඔවුන් අපොහොසත් වූ බවය.

(ABS-CBN News ඇසුරිනි)
එස්. දහනායක

[May30, 2020 - Gossiplankanews.com]