ඉදිරි දින කිහිපය තුළදි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි සහ රාත්‍රි කාලයේ දි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂක ජනරාල් අතුළ කරුණනායක මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ බව සඳහන් කළේය.



මේ වන විට අන්තර් මොසම් කාලය අවසන් වෙමින් පවතින බවත් මෙම කාලය තුල බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි සහ රාත්‍රි කාලයේ දි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

මෙහිදී ඉතා සුළු කාල පරිච්ඡේදයක් තු‍ල විශාල වර්ෂාපතනයක් ලැබෙන බවත් මේ වර්ෂාපතනය හේතුවෙන් අවට ප්‍රදේ‍ශවල තාවකාලිකව තද සුළං ඇති වන බවත් අතුල කරුණනායක මහතා පෙන්වා දෙයි.

මන්නාරමේ සිට කොළඹ හරහා මඩකලපුව දක්වා ඇති වෙරළබඩ තීරයට ඔබ්බෙන් ඇති මුහුදු තීරවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඒ මහතා පවසයි.

එසේම අන්දමන් දූපත්වල මේ වන විට සුළු කැළඹිලි ස්වභාවයක් ඇති බවත් මේ තත්ත්වය ඉදිරි කාලය තුළ ක්‍රමයෙන් බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඉදිරියට ගමන් කරන බව පෙනී යන බවත් මෙය අඩු පීඩන කලාපයක් බවට වර්ධනය වීමේ ලකුණු පහළ වී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මෙහි සෘජු බලපෑමක් දිවයිනට නැති බවත් වක්‍ර බලපෑම පිළිබඳ ඉදිරි දිනවලදී පැහැදිලි කිරීමට හැකිවනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.