එංගලන්තයේ ලන්ඩන් නුවර සිට එහි අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 194 දෙනෙකු රැගෙන , දෙවන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.



ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 504 දරන එම විශේෂ ගුවන් යානය අද අලුයම 3.05 ට ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට පැමිණ තිබූ අතර ගුවන් යානයෙන් පැමිණීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ අතරමං වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද ලන්ඩන් වෙත පැමිණ පසුව ඒ හරහා මෙහි පැමිණ තිබුණි.
මෙම සිසුන් සියලු දෙනා දුරස්ථභාවය රැකෙන පරිදි මෙම ගුවන් යානය තුළ අසුන් ගන්වා තිබූ අතර , ඔවුන් ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි වෙත පිවිසීමට පෙර විශබීජ හරණය කිරීමකට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කටයුතු කර තිබුණා.
මෙසේ පැමිණෙන පිරිස් වෙත අවශ්‍ය නම් හෝටල් තුළ යම් මිලක් ගෙවමින් නිරෝධායන කටයුතු කිරීම සඳහා අවශ්‍ය අවස්ථාව උදාකර දෙන බව නිවේදනය කළ පසුව වැඩිදෙනා හෝටල්වෙත ගිය බව කියැවිණි.
පිරිස නිරෝධායනය කටයුතු සඳහා සුපිරි හෝටල් තුනක් හා දියගම නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ. ඒ අනුව ඔවුන් මීගමුව ජෙට්වින් බ්ලූ , ජෙට්වින් ලැගූන් , වස්කඩුව සිට්‍රස් යන සංචාරක හෝටල් වෙත ගොස් තිබුණි.
එම නිරෝධායනය වෙනුවෙන් එක් අයෙකු දින 14 කට රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් වැයකරනු ඇත.
එසේ නොවන පිරිස් සඳහා දියගම රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුවීමට අවස්ථාව ඇති බව දන්වා තිබුණි.