කොරෝනා වෛරසය දරුවන්ට වැළඳුණද ඔවුන්ට ඒ හේතුවෙන් බරපතළ රෝග ලක්ෂණ පහළ වූ බව වාර්තා වූයේ ඉතා කලාතුරකිනි. එනමුත් දරුවන්ට වැළඳෙන වෙනත් භයානක රෝගී තත්වයක් පිළිබඳව මෑතක සිට වාර්තා වෙමින් පවතී. එය කොරෝනා වෛරසයට සම්බන්ධද නැද්ද යන්න
ගැටලුසහගතය‍. මේ පිළිබඳව සන්චිතා ෂර්මා විසින් ඉන්දියාවේ Hindustan Times පුවත්පතට පළ කරන ලද තොරතුරු පහතින් දැක්වේ.
මේ වන තුරු Covid-19 හේතුවෙන් රෝහල්ගත කිරීමට සිදු වූ පුද්ගලයන් අතර සහ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් අතර වැඩිපුරම දක්නට ලැබුණේ කාලයක් පුරා යම් අසනීප තත්වයන්ගෙන් පසුවන වැඩිහිටියන්ය. නමුත් බොහෝ දරුවන් තුළ දරුණු කොරෝනා රෝග ලක්ෂණ පහළ නොවූ බව පිළිගැනේ. කෙසේ වුවද පසුගිය සති කිහිපය පුරා විෂ සහිත බැක්ටීරියා නිසා ඇති වන ආසාදන තත්වයක් (Toxic shock) හේතුවෙන් දරුවන් 100 දෙනෙක් පමණ දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කරනු ලැබීය. එම දරුවන් තුළ එක්සත් ජනපදයේ, එක්සත් රාජධානියේ, ප්‍රංශයේ, ඉතාලියේ, ස්පාඤ්ඤයේ සහ ස්විට්සර්ලන්තයේ තිබෙන කවාසාකි රෝගයේ ලක්ෂණ දක්නට ලැබුණි. මෙම රෝගී තත්වය සහ කොරෝනා වෛරස් රෝගය අතර සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අවධානය යොමු වී තිබේ.

කවාසාකි ලෙස හැඳින්වෙන්නේ රුධිර වාහිනී, හෘදය සහ අනෙකුත් ඉන්ද්‍රියයන්ට බලපාන රෝගී තත්වයක් වන අතර එය වැළඳීමට හේතුව මෙතෙක් සොයාගෙන නොමැතිය. අධික උණ, අඩු රුධිර පීඩනය, කුෂ්ඨ (rash) සහ හුස්ම ගැනීමේ අපහසුතා එහි රෝග ලක්ෂණ වන අතර සාමාන්‍යයෙන් එය වැළඳෙන්නේ අවුරුදු 5ට අඩු දරුවන්ටය. නමුත් ඉන්දියාවේ ඊට වඩා වයසින් වැඩි දරුවන්ටද මෙය වැළඳී තිබේ. රුමැටික් උණ හැරුණුකොට දරුවන්ට හෘද රෝග ඇති වීමට වැඩිපුරම හේතු විය හැකි රෝගය වන්නේ කවාසාකි රෝගයය.

“යුරෝපීය රටවල් ගණනාවකින් සහ උතුරු ඇමරිකාවේ සුළු වශයෙන් වාර්තා වූ මෙම රෝග ලක්ෂණ පිළිබඳව අපි දැනුවත්ව සිටින්නෙමු” කියා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති වෛද්‍ය ඇඩම් ෆින් විසින් ප්‍රකාශ කරන ලදි.
අවුරුදු 5ට අඩු දරුවන්ට කවාසාකි රෝගය වැළඳීමේ සම්භාවිතාව 100,000ට 150ක් වේ. නමුත් ඉන්දියාවේ මෙම රෝගය හඳුනා නොගන්නා දරුවන් බොහෝදෙනෙකු සිටින බව එක් අධ්‍යයනයකින් හෙළි විය. ගැහැනු දරුවන්ට වඩා පිරිමි දරුවන්ට අවධානමක් ඇති අතර ඉන්දියාවේ මෙම රෝගය වැළඳෙන පිරිමි දරුවන් සහ ගැහැනු දරුවන් අතර අනුපාතය 1.5:1 ලෙස සැලකේ.

යුරෝපයේ සහ එක්සත් ජනපදයේ කවාසාකි රෝග ලක්ෂණ සහිත මෙම අලුත් රෝගය වැළඳුණු දරුවන්ගෙන් වැඩිදෙනෙකුට කොරෝනා වෛරසයද වැළඳී තිබෙන බව පරීක්ෂණවලින් හෙළි විය. නමුත් කොරෝනා වෛරසය වැළඳී ඇති බව පරීක්ෂණ වාර්තාවල සටහන් නොවූ දරුවන්ද ඒ අතර වේ. එසේ සිදු වීමෙන් එළඹිය හැකි නිගමන වන්නේ මෙම නව රෝගය කොරෝනා වෛරසයට සම්බන්ධයක් නැති බව හෝ එම දරුවන්ව පරීක්ෂා කිරීමට පෙර ඔවුන්ට කොරෝනා වෛරසය වැළඳී සුව වීද ඇති බව හෝ කොරෝනා වෛරස් ආසාදනය පරීක්ෂණයට හසු නොවී ඇති බවය. කොරෝනා වෛසරයට නෑකම් කියන කවාසාකි රෝග ලක්ෂණ ඉන්දියාවෙන් වාර්තා වී නොමැත.

ප්‍රතිශක්තිකරණ සෛල අධික ලෙස ක්‍රියාත්මක වී ආසාදනයකට ප්‍රතිචාරය දැක්වීමක් Covid-19 සහ කවාසාකි යන රෝග දෙකේදීම පොදුවේ දක්නට ලැබෙන බවත් එමගින් ශරීරය තුළ විශාල කම්පන තත්වයක් ඇති වන බවත් ප්‍රවීණයෝ පවසති.
“මෙම දරුවන්ගේ ප්‍රතිශක්තිකරණය දිගු කාලයක් පුරා දරුණු ලෙස Covid-19 ආසාදනය සමඟ සටන් කර ඇති අතර වැඩිහිටියන් වැඩිදෙනෙකුට මෙන් ඔවුන්ට පෙනහළු රෝගී තත්වයක් ඇති වී නැහැ” කියා කේම්බ්‍රිජ්හි ළමා හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍ය නසීමා පාතන් The Guardian පුවත්පතට අදහස් දැක්වීය.
“දරුවන්ට මෙම නව රෝග ලක්ෂණ ඇති බව දෙමාපියන් සැක කරනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි” කියා එම වෛද්‍යවරයා තවදුරටත් අදහස් දැක්වීය.

දරුවන්ට Covid-19 වැළ‍ඳෙන්නේ නැති බව පැවසිය නොහැකියි. නමුත් බොහෝවිට ඔවුන්ට කොරෝනා වැළඳුණු පසු එය බලපාන්නේ සුළු වශයෙනි. චීනයේ කොරෝනා ව්‍යාප්ත වූ මුල් කාලයේ දත්ත පෙන්වා දෙන පරිදි කොරෝනා වැළඳුණු 13%කගේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ අතර අවුරුදු 6ත් 10ත් අතර දරුවන්ගෙන් තුනෙන් එකක්ම රෝග ලක්ෂණ පෙන්නුම් කළේ නැත.

“දරුවන් තුළ දරුණු රෝග ලක්ෂණ ඇති නොවූවද ඔවුන් වෛරස ගෙන යන්නන් විය හැකිය. එනම් ඔවුන් තුළින් වෙනත් පුද්ගලයන්ට වෛරසය සම්ප්‍රේෂණය විය හැකිය. එමනිසා වයෝවෘද්ධ පුද්ගලයන් සහ ඇදුම, දියවැඩියාව, අධිරුධිර පීඩනය, වකුගඩු රෝග ආදී රෝගී තත්වයන්ගෙන් පෙළෙන අවදානම් සහිත පුද්ගලයන් සමග දරුවන් ගැවසීම සීමා කිරීම වැදගත්ය” කියා Covid-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් ඉන්දියා‍වේ ආරම්භ කරන ලද මුල්ම පෞද්ගලික රෝහලේ වෛද්‍ය යාටින් මෙහ්ටා විසින් ප්‍රකාශ කර තිබේ.
ජර්මනියේ මෑතකදී කරන ලද පරීක්ෂණයකින් සොයාගෙන තිබෙන්නේ වෛරසයට ගොදුරු වීමට වැඩිහිටියන්ට හා සමාන අවධානමක් දරුවන්ටද තිබෙන බවය. වෛරසය ගමන් කරන ප්‍රධාන මාර්ගය වන ශ්වාස නාළය වයස් කණ්ඩායම් අනුව වෙනස් නොවන බව යුරෝපයේ බර්ලින් නුවරෙහි පිහිටා තිබෙන විශාලතම විශ්වවිද්‍යාල රෝහලේ සමීක්ෂකයන් විසින් සොයාගෙන තිබේ.

කොරෝනා හේතුවෙන් බරපතළ රෝග ලක්ෂණ මතු වී රෝහල්ගත වූ පුද්ගලයන් අතරින් දරුවන් සිටි‍න්නේ සියයට එකකටත් අඩු ප්‍රමාණයකි. එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීම පිළිබඳ දත්ත අනුව දරුවන් රෝහල්ගත වීම අතින් වැඩි ප්‍රතිශතයක් තිබෙන්නේ ළදරුවන් රෝහල් ගත වීමට වන අතර ඔවුන් අතරින් මරණයක් වාර්තා වන්නේ ඉතා කලාතුරකිනි.
දරුවන් තුළ දක්නට ලැබෙන රෝග ලක්ෂණ

  • සුදුමැලි පෙනුමක් ඇති වීම
  • ශරීරය අසාමාන්‍ය ලෙස ශීතල වීම
  • හුස්ම ගැනීමේ රටාව වෙනස් වීම, ගෙරවීම
  • හුස්ම ගැනීමේ අපහසුතා ඇති වීම
  • තොල් නිල් පැහැ ගැනීම
  • වලිප්පුව ඇති වීම
  • හැඬීම නැවැත්වීම අපහසු වීම
  • කම්මැලි ස්වභාවයක් දැක්වීම සහ ප්‍රතිචාර නොදැක්වීම
  • කුෂ්ඨ (rash)



-එස්. දහනායක
(Hindustan Times පුවත්පත ඇසුරිනි)
[May06, 2020 - Gossiplankanews.com]