ලෝකයම අවුලකට ඇද දැමූ කොරෝනා වෛරසය ආශ්‍රිත රෝගයට විසඳුම් සෙවීමේ විද්‍යාත්මක පර්යේෂණ සිය ගණනක් මේ වනවිටත් ලෝකයේ තැන තැන සිදුවේ. වෛරසය ආසාදනය වූවන්ට සිදුවන හානිය අවම කිරීමට හෝ වෛරසය ආසාදනයෙන් සම්පූර්ණයෙන් මිදීමට හැකි එන්නතක් නිපදවීම මේ අයගේ අරමුණයි. මේවායේ ප්‍රගතිය ඉහළ මට්ටමක පවතින

නමුත් තවම අවසාන සාර්ථක විසඳුමක් ඉදිරිපත්ව නැති බව පෙනෙන්නට තිබේ.
පහතින් පළවන්නේ පසුගිය මාස එකහමාරක කාලයේ සිට ඊයේ දක්වා මේ සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රවණතාවයන්ය.

මැයි 8 - ‍කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ තිබූ පුද්ගලයන් 1300ට වැඩි දෙනෙක් ඇසුරින් සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ Covid-19 වැළඳී සුවය ලබන සෑම දෙනා තුළම පාහේ ප්‍රබල ප්‍රතිදේහ නිපදවී ඇති බවය. ඉන් අදහස් කරන්නේ නැවත ආසාදනය නොවීමට අවශ්‍ය ප්‍රතිශක්කරණය ඔවුන් තුළ වර්ධනය වී ඇති බවය. මෙසේ ප්‍රතිශක්තිකරණය ගත වීමට යම් කාලයක් ගත විය හැකි අතර එය වර්ධනය වූ පසු කොතරම් කාලයක් පුරා පවතීද යන්න මෙතෙක් සොයාගෙන නොමැතිය. තමන් රෝගී බව මුලින්ම දැනීමෙන් පසුව මාසයක් ගත වන තුරු සමහර පුද්ගලයන් තුළ ප්‍රතිදේහ වර්ධනය වී නැති බව සමීක්ෂණයෙන් හෙළි විය.  එමෙන්ම ප්‍රතිදේහ නිපදීමේ ක්‍රියාවලිය කෙරෙහි පුද්ගලයෙකුගේ වයස, ස්ත්‍රී පුරුෂභාවය බලපාන්නේ නැති බව එම කණ්ඩායම විසින් සොයාගන්නා ලදි.


මැයි 7 – CRISPR gene-editing පද්ධතිය භාවිතයට ගන්නා පරීක්ෂණයක් මගින් දැන් පැයක් ඇතුළත නව කොරෝනා වෛරසය හඳුනාගත හැකි වන අතර පරීක්ෂාව සඳහා පුහුණු කළ පුද්ගලයෙකු හෝ විශේෂ උපකරණයක් අවශ්‍ය වන්නේ නැත.

මැයි 5 - චීනයේ වෛරසය ව්‍යාප්තය පාලනය කිරීමට උපකාරවත් වූයේ සමාජ දුරස්ථභාවය පිළිබඳ දැඩි නීති බව වාර්තා වෙයි. එයට ඇතුළත් වූයේ පාසැල් වසා දැමීම පමණක් නොවන අතර ගමනාගමනය ඇතුළුව සියළුම සමාජ හමු වීම් නවතා දැමීමය. මෙම ක්‍රියාමාර්ග ගැනීමට තව සති තුනක් පමණ ප්‍රමාද වූවා නම් චීනයේ ආසාදිත වූ පුද්ගලයන්ගේ ගණන ඊට වඩා 18 ගුණයකින් ඉහළ යෑමට ඉඩ තිබූ බව බලධාරීහූ පෙන්වා දෙති.

මැයි 1 - SARS-CoV-2 වෛරසයට ප්‍රතිශක්තිකරණ පද්ධතිය දක්වන ප්‍රතිචාරය වෙනත් ශ්වසන මාර්ගය ආශ්‍රිත වෛරසවලට ප්‍රතිශක්තිකරණය දක්වන ප්‍රතිචාරයට වඩා වෙනස් බව සොයාගන්නා ලදි. මෙම සොයාගැනීම ඇසුරින් නිගමනය කර තිබෙන්නේ COVID-19 රෝගයට ප්‍රතිකාරයක් සෙවීමේදී ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉලක්ක කරගත යුතු බවය.

මැයි 4 - වෛරසයට එරෙහි වීමට ප්‍රතිකාරයක් සොයාගැනීමට උපකාරවත් වන ත‍ොරතුරු SARS-CoV-2 ප්‍රධාන එන්සයිමයක අණුක රූපයකින් පෙන්නුම් කරයි. පොලිමරෝස් ක්‍රියාවලිය අවහිර කරන ප්‍රතිකාරයක් සොයාගැනීම අරමුණ වී ඇති බව ලේඛකයෝ ප්‍රකාශ කරති.

අප්‍රියෙල් 30 - චීනයේ සිදු කරන ලද පරීක්ෂණයකදී හෙළි වූයේ ආසාදිත පුද්ගලයෙකු සමඟ කිට්ටුවෙන් ඇසුරු කළ විට වැඩිහිටියන්ට තිබෙන SARS-CoV-2 වැළඳීමේ අවදානම හා සමාන අවදානමක් දරුවන්ටද තිබෙන බවය.

අප්‍රියෙල් 29 - නව කොරෝනා වෛරසය මිනිස් සෛල ආක්‍රමණය කරන්නේ එම වෛරසය තුළ ඇති ප්‍රෝටීනයක් බොහෝ මිනිස් ඉන්ද්‍රියයන් තුළ ඇති ACE2 ප්‍රෝටීනය සමඟ බැඳුණ විට බව සොයාගන්නා ලදි.

අප්‍රියෙල් 27 - නව කොරෝනා වෛරසයේ RNAවලට වාතය හරහා ගමන් කළ හැකි බවත් ආසාදිත පුද්ගලයන් ප්‍රාශ්වාස කිරීමේදී පිටවන කුඩා අංශු ඊට දායක වන බවත් සොයා ගන්නා ලදි. රෝගීන් භාවිත කරන කුඩා වැසිකිළි සහ කාර්යමණ්ඩලය ඇඳුම් මාරු කරන ස්ථානවල වෛරස RNA තිබූ බව සොයාගන්නා ලදි. නමුත් එම ස්ථාන විෂබීජහරණය කිරීමෙන් පසුව වෛරස RNA දක්නට නොලැබුණි. නිතිපතා විෂබීජනාශනය කිරීම සහ වඩාත් හොඳ වාතාශ්‍රයක් පවත්වාගැනීම මගින් වෛරසය ව්‍යාප්තිය පාලනය කරගත හැකි බව යෝජනා කරයි.

අප්‍රියෙල් 24 – Swab එකක් උගුරේ පිටුපස ඇතිල්ලීම මගින් කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි දැනගැනීමට සාම්පල ලබාගත්තද මෙසේ සාම්පල ලබාගැනීමට යෑමේදී පුද්ගලයන්ට කැස්ස හෝ කිවිසුම් ඇති වී තවදුරටත් වෛරස් අංශු මුදාහැරිය හැකිය. නමුත් පුද්ගලයෙකුගේ ඛේටය පරීක්ෂා කිරීම මගින්ද එම තැනැත්තා ආසාදනය වී ඇත්ද කියා සොයාගත හැකි අතර Swab එකක් මගින් පරීක්ෂා කිරීමේදී ආම්පන්න හිඟ වීමට පිළියමක් ලෙස මෙම ක්‍රමය යොදාගත හැකිය. ආසාදිතයන්ගේ සාම්පල swab මගින් සහ ඛේටය මගින් යන දෙයාකාරයටම ලබාගෙන සිදු කළ සමීක්ෂණයකින් හෙළි වූයේ ඇතැම් පුද්ගලයන් ආසාදිත බව swab මගින් ලබාගත් සාම්පල මගින් හෙළි නොවූවද ඛේට සාම්පල මගින් ඔවුන් ආසාදිත බව හෙළි වූ බවය.

අප්‍රියෙල් 23 – Covid-19 රෝගය වැළඳී තිබෙන බොහෝ පුද්ගලයන් තුළ රෝග ලක්ෂණ නොපෙන්වන බව ඉතාලියේ කුඩා නගරයක සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි විය. එම නගරය තුළ SARS-CoV-2 ආසාදනය වූ පුද්ගලයන්ගෙන් 43%කටම උණ හෝ වෙනත් රෝග ලක්ෂණ ඇති නොවීය. රෝගය ව්‍යාප්තියට ප්‍රධාන වශයෙන් දායක වී ඇත්තේ එවැනි පුද්ගලයන් නිසා සමාජ දුරස්ථභාවය පිළිබඳව දැඩි නීති ඇති නොකර රෝගය පාලනය කළ නොහැකි බව ලේඛකයෝ පවසති.

අප්‍රියෙල් 20 - සමාජ දුරස්ථභාවය, කඩිනම් පරීක්ෂණ පැවැත්වීම සහ ආසාදිත පුද්ගලයන් සමග ඇසුරු කළ තැනැත්තන්ව නිරෝධායනය කිරීම නිසා හොං කොං රටේ SARS-CoV-2 ව්‍යාප්තිය පාලනය විය.

අප්‍රියෙල් 20 – මුලින් වඳුරන්ට අත්හදා බැලූ එන්නතකින් Covid-19 රෝගයට හේතු වන වෛරසයෙන් ආරක්ෂා වීමට වඳුරන්ට හැකි බව හෙළි විය. එම එන්නත මිනිසුන්ටද අත්හදා බැලීමට එම ආයතනයට අවසර ලැබිණ.

අප්‍රියෙල් 17 - කොරෝනා වෛරස ප්‍රෝටීනයක මූලික අංගයක් පදනම් කරගෙන ආරක්ෂිත සහ ප්‍රතිඵලදායක එන්නතක් නිපදවිය හැකිය.අලුත් අදහසක් ඒ ගැන ඉදිරිපත්ව ඇත.

අප්‍රියෙල් - 15 වෛරසයේ ව්‍යාප්තියට කාලගුණය හේතු වන බව සොයාගෙන තිබේ. ඇතැම් ප්‍රදේශවල අගුළු අරින මොහොත වන විට වාර්තා වී තිබෙන උපරිම ආසාදිතයන් ගණනට වඩා සමාජ දුරස්ථභාවයක් කිසි ලෙසකින් පවත්වා නොගත් ප්‍රදේශයක එ් වන විට වාර්තා වී ඇති උපරිම ආසාදිතයන් ගණන අඩු විය හැකිය. සමීක්ෂකයන් සොයාගෙන ඇති පරිදි ඉන්ෆ්ලුවෙන්සා වෛරස මෙන්ම SARS-CoV-2ද ඇතැම් සෘතුවලදී වඩාත් වේගවත්ව ව්‍යාප්ත වේ. අවුරුදු කිහිපයක් ගත වෙද්දී SARS-CoV-2ට මිනිසුන් දක්වන ප්‍රතිශක්තිකරණය පිරිහුණොත් ශීත සෘතුවේදී දිගින් දිගටම එම වෛරස පැතිර යා හැකි බව වාර්තා වේ.

අප්‍රියෙල් 10 - SARS-CoV-2 වෛරසයේ එක් ප්‍රධාන ප්‍රෝටීනයක් පිළිබඳව සහ වෛරසය සෛලයක් තුළ ප්‍රතිගුණනය වීමට අවශ්‍ය ප්‍රෝටීස් නමැති එන්සයිමයක් පිළිබඳව අප්‍රියෙල් 10වනදා විද්‍යාඥයන් විසින් තොරතුරු සොයාගනු ලැබීය. වෛරස නිශේධක සොයාගැනීමට මෙම තොරතුරු උපකාරවත් වී‍ තිබේ. ප්‍රෝටීසවල තිබෙන කුහරයකින් මෙම නිශේධක ඇතුළට කාන්දු වේ. අනෙකුත් කො‍රෝනා වෛරස වර්ගවලද ඊට සමාන කුහරයක් තිබෙන නිසා එක් සංයෝගයක් කො‍රෝනා වෛරස වර්ග හේතුවෙන් ඇති වන රෝග ගණනාවකට ප්‍රතිකාර කිරීමට උපකාරවත් වනු ඇති බව බලාප‍ොරොත්තුවක් ඇති වෙමින් පවතියි.

අප්‍රියෙල් 9 - SARS-Cov-2 වැළඳී සුව වීමෙන් පසුව බොහෝ පුද්ගලයන් තුළ වෛරසයට එරෙහි ප්‍රතිදේහ ඉහළ මට්ටමක තිබෙනවා දක්නට ලැබුණි. සාමාන්‍යයෙන් ආගන්තුක විෂබීජයක් ශරීරයට ඇතුල් වූ විට ශරීරය තුළ තිබෙන ප්‍රතිශක්තිකරණය මගින් එම විෂබීජයට ‍එරෙහිව ප්‍රතිදේහ නම් ප්‍රෝටීනය නිපදවනු ලබයි. ආසාදනය සුළු වශයෙන් ඇති වූ 175දෙනෙකු ඇසුරින් චීනයේ විශ්වවිද්‍යාලයක සිදු කළ පරීක්ෂණයකට අනුව ඉන් සියයට 70දෙනෙක්ටම, විශේෂයෙන් අවුරුදු 40ට අඩු පුද්ගලයන්ට SARS-CoV-2 ප්‍රතිදේහ විශාල මට්ටමින් ඇති වූයේ නැති අතර ඉන් නිගමනය කළේ ඔවුන්ගේ ආසාදනය ශරීරයෙන් ඉවත් වීමට හේතු වී ඇත්තේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් දක්වන වෙනත් ප්‍රතිචාර බවය.

අප්‍රියෙල් 8 - Covid-19 වැළඳුණු පුද්ගලයෙකුට රෝග ලක්ෂණ පහළ වීමට ආරම්භ වූ පසුව එම පුද්ගලයාගේ වෛරස RNA මට්ටම ඉහළ අගයක පවතින බව සොයාගන්නා ලදි. එමෙන්ම පුද්ගලයෙකුගේ ශරීරය තුළ පෙන්නුම් කරන වෛරස RNA මට්ටම වැඩි වන තරමට එම පුද්ගලයාට කැස්ස ඇති වීමේදී සහ කිවිසුම් යෑමේදී වෛරසය පිට වන බව හෙළි විය. එමෙන්ම පුද්ගලයෙකු ‍තුළ එතරම් රෝග ලක්ෂණ පහළ නොවුණද පහසුවෙන්ම එම පුද්ගලයාගෙන් තවත් පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේෂණය විය හැකි බව සමීක්ෂණ වාර්තා කරයි.


අප්‍රියෙල් 7 - Covid-19 ආසාදිතයන් හඳුනාගැනීම සඳහා වෛද්‍යවරු PCR පරීක්ෂණ මත විශ්වාසය තබා ඇත. නමුත් එක්සත් ජනපදයේ රෝග මර්දනය සහ වැළැක්වීම පිළිබඳ කාර්යංශ මගින්, හොං කොං විශ්වවිද්‍යාලය මගින් සහ බර්ලින් නුවරේදී සොයාගත් තවත් පරීක්ෂණ කිහිපයක් මගින් වෛසරයේ අඩු අගයන්ද සොයාගැනීමට සමත් බව අප්‍රියෙල් 7වනදා තහවුරු විය.

අප්‍රියෙල් 5 - Covid-19 වසංගතය ඇති වීමට හේතු වන වෛසරය වවුලන් වර්ගයක් අතර දශක ගණනාවක හෝ ඊට වැඩි කාලයක සිට පැවත ඇති බව තහවුරු විය. නමුත් SARS-CoV-2 සෘජුවම මිනිසුන්ට වවුලන්ගෙන් ආසාදනය නොවූ බවත් මිනිසුන් වැඩි වශයෙන් නිරාවරණය වන වෙනත් සත්ත්ව විශේෂයක් හරහා එය මිනිසුන්ට සම්ප්‍රේශණය වූ බවත් අදහස් පළ කරයි.

අප්‍රියෙල් 3 - ශ්වසන මාර්ගයෙන් පිට වන බිඳිති මගින් සම්ප්‍රේෂණය වන විවිධ කොරෝනා වෛරස වර්ග ව්‍යාප්තිය පාලනය කරගැනීමට මුඛ හා නාස් ආවරණ පැළඳීම උපකාරවත් වන බව තහවුරු කරන ලදි. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව ඇති වීමට හේතු වන්නේද කොරෝනා වෛරසය (seasonal coronaviruses). මුඛ හා නාස් ආවරණයක් පැළඳ නොසිටි සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී සිටි පුද්ගලයන් ඇසුරින් සිදු කළ පරීක්ෂණයකින් විද්‍යාඥයන් හට පැහැදිලි වූයේ අසාදිතයන් මගින් පිට වූ විශාල බිඳිති සහ සියුම්ව විසිරෙන බිඳිති යන දෙවර්ගයේම කොරෝනා වෛරස RNA අඩංගු වූ බවය. විශාල බිඳිති පිට වන්නේ කිවිසුම් යෑමේදී සහ කැස්ස ඇති වීමේදී වන අතර කුඩා බිඳිති ප්‍රාශ්වාසයේදීද පිට වේ. කොරෝනා වෛරස වර්ග සම්ප්‍රේශණය වැළැක්වීමට පමණක් නොව ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තිය වැළැක්වීමටද මුඛ හා නාස් ආවරණ පැළඳීම දායක වන බව වාර්තා වේ.

අප්‍රියෙල් 1 - ලාමා නමැති සත්ත්ව විශේෂයෙන් ලබාගන්නා ප්‍රතිදේහ මිනිසුන්ට බලපෑම් කරන කොරෝනා වෛරස කිහිපයකට විරුද්ධව සටන් කිරීමට උපකාරවත් වන බව සොයාගන්නා ලදි. ලාමා සත්ත්වයන්ගෙන් ලබාගන්නා SARS ප්‍රතිදේහයක් සහ මිනිස් ප්‍රතිදේහයක් දෙමුහුන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස Covid-19 සඳහා හේතු වන වෛරසය මැඩපැවැත්විය හැකි බව ටෙක්සාස් ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක සිදු කළ පරීක්ෂණයකින් හෙළි විය. එම පරීක්ෂණයේ දත්ත මගින් කියා සිටින්නේ කොරෝනා වෛරස් වසංගතය සමඟ සටන් කිරීමට එවැනි ප්‍රතිදේහ යොදාගත හැකි බවය.

මාර්තු 27 - කැලිෆෝනියාවේ විශ්වවිද්‍යාලයක සිදු කළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස කොරෝනා වෛරස ප්‍රෝටීන මගින් බලපෑම් ඇති කරන මිනිස් ප්‍රෝටීන පිළිබඳව සොයාගන්නා ලදි. අසාදිත පුද්ගලයන්ට ලබා දිය හැකි ප්‍රතිකාර පිළිබඳව අධ්‍යයනය කිරීමට මෙම සොයාගැනීම උපකාරවත් වේ.

එස්. දහනායක
(Nature ඇසුරිනි)
[May09, 2020 - Gossiplankanews.com]