මරණීය මරණයක් හිමි වන්නේ ලක්ෂසංඛ්‍යාත ගණනකින් එක් අයකුට පමණී. දසත සුවඳ විහිදුවන එවැන්නෝ නොකියාම, නිහඬවම සමුගෙන ගියද දනන් මුව බොහෝ කාලයක් නාමය රැව්පිළිරැව් දෙන්නේය. මේ එවන් අකල්හි වියෝවූ රට ජාතිය වෙනුවෙන් සිය යුතුකම් ඉටු කරලනු වස් කැපවූ මිනිසකු පිළිබඳ කතාවයි.මිනිසකු ලෙස ඉපද මිනිසකු ලෙස මිය යන්නට හැකි වන්නේ
ඉතාම සුළු පිරිසකට බව බොහෝ ආගම් හා දර්ශනයන්ගේ සඳහන් ය. බුදු දහමේ දැක්වෙන්නේද මනුෂ්‍යත්වය ලබා ගැනීම ඉතා දුෂ්කර බවය. එසේ දුෂ්කර ලෙස ලබා ගත් මිනිසත් බව රැකගෙන මිනිසකු ලෙස ජීවත්වීමට නම් අප බොහෝ කැපවීම් කළ යුතුය. තමන් ගැන පමණක් නොව තම පවුලේ අය ගැන මෙන්ම ගම, රට ගැනද සිතා බලා වැඩ කටයුතු කළ යුතුය. එසේ වුවත් අපගේ බොහෝ ජනතාව තුළ එවැන්නක් දක්නට නම් නැත. එහෙත් විරල වශයෙන් හෝ ගමට හිතැති, රටට හිතැති අය ද සිටිති.


අප මේ කියන්න ට යන්නේ ද එවන් හොඳ මිනිසකු ගැනය. එහෙත් අවාසනාවකට ඒ හොඳ මිනිසාට ජීවත් වන්නට වරම් ලැබුණේ කෙටි කාලයකි. එය ඔහුට පමණක් නොව රටටම වූ අභාග්‍යයකි.

ඔහු නාවික හමුදාවේ වීරෝදාර රණවිරුවෙකි. නමින් ලුතිනන් කමාන්ඩර් සුනිල් බණ්ඩාර දොඩම්වලය.කොරෝනා උවදුර පැමිණීමෙන් පසු සෙසු රාජකාරි කටයුතුවල නියැළී සිටි ඔහු හදිසියේ අසනීප වීම නිසා නාවික හමුදාවේ කොළඹ මහ රෝහලට ඇතුළත් කෙරිණි. වෛද්‍යවරුන් දැඩි වෙහෙසක් ගත්තද ඔහුගේ දිවි රැක ගන්නට හැකියාවක් නොවීය.

ඕනෑම දෙයක් දරා ගැනීමේ පුදුමාකාර ශක්තියක් තිබූ මේ රණවිරුවාගේ වියෝව වෙනුවෙන් කෙටි හෝ සටහනක් අප තැබිය යුත්තේ පසුගිය දිනවල සමස්ත නාවික හමුදාවම සිදු කළ, අදටත් සිදු කරන කැපවීම ගැන මඳක් හෝ ජනතාවට දැනිය යුතු හෙයිනි.

එසේම සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැමුන් පළ කරන ලද වැරැදි අදහස් නිසා ඔහුට හා නාවික හමුදාව ගැන වැරැදි චිත්‍රයකු මැවී යන්නටද ඉඩ ඇත.මේ නාවිකයාට දිවියෙන් සමු ගන්නට සිදු වූයේ ජීවිතයේ සුන්දරම වයසේදී වීම ඇත්තෙන්ම කනගාටුදායකය. දීර්ඝ කාලයක් රට රකින්නට ජීවය දෙන්නට සිටි ඔහු දැයෙන් සමුගත්තේ තවමත් බහතෝරන වයසේ සිටින තම සුරතල් නිවුන් දරුවන් දෙදෙනාත් සෙවණැල්ල මෙන් සිටි ආදරණීය සහකාරිය, මව පියා හිත මිතුරන් ඇතුළු ඥාතීන් සියලු දෙනා දුක් සෝ සයුරේ ගිල්වමිනි.

ලුතිනන් කමාන්ඩර් සුනිල් බණ්ඩාර දොඩම්වල රජරට ගලෙන්බිඳුණුවැව ගම්මානයේ උපත ලද ගැමි දරුවෙකි. නාගරික පෙළැන්තියේ ඇතැමුන් සතුව ඇති පොළොවට උඩින් යාමේ කිසිදු ගුණයක් සුනිල් බණ්ඩාරගේ දිවියේ තිබුණේම නැත. ගමේ ගොඩේ මෙන්ම, හේනේ කුඹුරේ ඕනෑම තැනක වැඩ පළ කිරීම ඔහුට හොඳට හුරු පුරුදු ය.

අම්මාත් තාත්තාත් ඒ වගේම අනෙක් ඥාතීන් සමඟ ගොවිතැන් බත් කර ඔහුට හොඳ අත්දැකීම් තිබුණේ කුඩා කල සිටමය. එසේ ගොවිතැනට ඇලුම් කළ සුනිල් බණ්ඩාර පාසල් ගමන් අරඹත්ම කුඩා කල සිටම පන්තියේ සිටි දීප්තිමත්ම සිසුවා විය. පන්තියෙන් පන්තිය ඉහළට යත්ම ඒ දස්කම් වැඩි විය. පාසලේදී සියලුම අංශවලින් දස්කම් පෑ සුනිල් බණ්ඩාරගේ විශේෂත්වය වූයේ උදෑසනම පාසල් පැමිණීමයි, අධ්‍යාපනයට පමණක් නොව පාසලේ ක්‍රීඩා, විවාද, කථික, ගායනා මේ සියලු අංශයන්ට එක සේම දස්කම් පෑ සුනිල් බණ්ඩාර පාසල් විවාද කණ්ඩායමේ නායකයා ද වූයේය. පාසලේ ඕනෑම උත්සවයකදී එහි ප්‍රධාන මෙහෙයුම් කථිකයා වූයේද සුනිල් බණ්ඩාරය.

මේ දස්කම් නිසාම පාසල පුරාම ඔහුගේ නාමය රැව් පිළිරුව් දුන්නේය. පාසලේ පමණක් නොව ගලෙන්බිඳුණුවැවටත් එතැනින් ඔබ්බට ගොස් කැකිරාව, අනුරාධපුරය, කහටගස්දිගිලිය දක්වාම පාසල්හි, සුනිල්ගේ නම පැතිර ගියේය. එම ප්‍රදේශයේ සුනිල් බණ්ඩාරගේ ගැන නොදත් පාසලක් තිබුණා නම් ඒ විවාද කණ්ඩායමක් නොතිබුණු පාසලක් විය යුතුය‍. ඔහු පාසලේදී පාසල් නිවාසාන්තාර ක්‍රීඩා තරගවලදී සහභාගි වූ සෑම ඉසව්වකින්ම පාහේ ජයග්‍රහණ වාර්තා කෙළේ ය. පාපන්දුව ද ඔහුට ඉතා සමීප ක්‍රීඩාවකි. දියඹුං ගසන්නට ඇළේ දොළේ සටන් කිරීම පවා ඔහුට ඉතා හොඳින් පුරුදුයඒ සියල්ල අතරේ අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉතාම ඉහළින් සමත් වූ ඔහු උසස් පෙළ විභාගයද ඉහළින්ම සමත් විය. එතැනින් පසු සරසවි අධ්‍යාපනය පිණිස ඔහු සබරගමුව විශ්වවිද්‍යාලයට ගියේය.සරත් බණ්ඩාර උපාධිය සමත්ව පැමිණෙන විට රටම යුද භීතියෙන් ඇළලී තිබුණි. ඒ 2008 වසරයි. ඔහු උපාධියද ලබා ගෙන නාවික හමුදාවට බැඳීමට තීරණය කෙළේය. ඒ රට රැක ගැන්ම උදෙසාය. ත්‍රස්තවාදීන්ගේ නිමක් නොවන යුද්ධය දුටු ඔහුට වුවමනා වූයේ කෙසේ හෝ රට රැක ගැන්මට පූර්ණ දායකත්වය ලබා දීමටය. ඒ අනුව ස්වේච්ඡා නිලධාරියකු ලෙසින් 2008 වසරේ සැප්තැම්බර් මස ඔහු නාවික හමුදාවට සම්බන්ධ විය. ඔහු උප ලුතිනන්වරයකු ලෙසින් 2009 වසරේ මාර්තු මස 7 වැනිදා අධිකාරියට එක් විය. ඒ යුද්ධයේ දරුණුතම අවදියයි. ඔහු එදා සිට රට ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදා ගන්නා තෙක් ඒ මාස කිහිපය එක දිගටම සේවය කෙළේ ය.

උතුරු නැඟෙනහිර ඇතුළු සියලු පළාත්වල සේවය කළ ඔහු ඒ අතර තවත් කාර්යයකට අත ගැසුවේය. ඒ අධ්‍යාපනයේ තවත් පියවරක් ඉදිරියට යාමටය. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මානව සම්පත් පිළිබඳව පශ්චාත් උපාධිය ලබා ගැන්මට සුනිල් බණ්ඩාර සමත් විය. නාවික හමුදාව වැනි අවිවේකී රැකියාවක නිරතව සිටියදී එවැනි අයුරින් අධ්‍යාපනයේ ඉහළට ගමන් කරන්නට ඔහුට හැකි විය. කෙතරම් අධ්‍යාපනයෙන් ඉහළට ගියත් කුමන තරාතිරමක‍ උසස්වීම් ලැබුණද කිසිදු අවස්ථාවක සුනිල් බණ්ඩාර හිස උදුම්මවා ගත්තේ නැත. නිවාඩු ලබා ගිය සෑම අවස්ථාවකදීම ඔහු ගම පුරා ගියේය. හමුවන සියලු දෙනා සමඟ හොඳින් කතා බහ කෙළේය. අවශ්‍ය තැනට ගොස් තම උපකාර ලබා දුන්නේය.


ඒ අතර ඔහුට වකුගඩු සම්බන්ධ රෝගයක්ද වැළඳුණේය. ඒ සඳහාද ඔහු ප්‍රතිකාර ගත්තත් එය නිට්ටාවට සුව නොවීය.

ඒ කුමන ආබාධයක් තිබුණද ගමේ අවමංගල්‍ය නිවසක් වූ විට දිවා රෑ වෙනසක් ඔහුට නොවීය.ගමේ ඕනෑම අවුරුදු උත්සවයක් එහෙමත් නැත්නම් වෙනත් ක්‍රීඩා තරගයක් හෝ තිබුණහොත් ඔහුට ඉස්පාසුවක් නොවී ය. එය මෙහෙයවීමට ඔහුට සිදු විය. ගමේම ජනතාව ඔහු සොයා ආවේ ඔහු ඒ මෙහෙයවීම ගැන හොඳින් දන්නා හෙයිනි. ලුතිනන් කමාන්ඩර්වරයකු වුවත් ගමේදී ඔහු ගමේ සුනිල් බණ්ඩාරම පමණක් විය. විවාහ වූ ඔවුන් දෙපළට 2017 වසරේදී නිවුන් පුතුන් දෙදෙනකුගේ මුහුණු බලන්නට වාසනාව පෑදිණි.

දහසක් වූ ලෝකයක් ගොඩ නඟන්නට ඔවුන් සිතන්නට ඇත.

කුමන තරාතිරමක වුවද හේන කුඹුර ඔහුට අමතක වූයේ නැත. කොරෝනා වසංගතය පැමිණීමත් සමඟම සුනිල් බණ්ඩාරට කාර්යබහුල විය. ඒ අතර ඔහු ගිලන් විය‍. ඒ ගිලන් බව වැඩිවෙත්ම ඔහුට කොළඹ නාවික මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැන්මට සිදු විය. ඒ පසුගිය අප්‍රේල් 18 දින සිටය. දින කිහිපයකදී අසනීපය උත්සන්න වීම ඔහු දැඩිසත්කාර ‍ඒකකයට ඇතුළත් කෙරිණි. ඒ වන විට ඔහුට මී උණ රෝගය වැළඳී ඇති බව වෛද්‍යවරුන් විසින් නිගමනය කර තිබුණි. අසනීපය උත්සන්න වී පසුගිය 25 වැනිදා මේ රණවිරුවා මෙලොවින් සමුගත්තේය. වයස අවුරුදු 35ක් වැනි කෙටි කාලයකදී අපෙන් සමුගත් මේ රණවිරුවාගේ වියෝවෙන් ගලෙන්බිඳුණුවැව බොහෝ කම්පාවට පත් විය. නිරෝධානය නීති වලට ගරු කරමින් ගලෙන්බිඳුණුවැව නිවසට වැල නොකැඩී මිතුරු මිතුරියන් පැමිණෙන්නට විය. ඒ දේහය පවා නිවෙසේ නොමැතිවය.

මෙම රණවිරුවාගේ මරණය කොවිඩ් - 19 වයිරසය හේතුවෙන් සිදුවූවක් නොවන බවට තහවුරු වුවද, වැලිසර නාවික හමුදා කඳවුර තුළ පසුගිය දිනවල උද්ගත වූ තත්ත්වය මත කොවිඩ් - 19 හේතුවෙන් මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදුකරනු ලබන ක්‍රියාපටිපාටියට අනුව මෙම නාවික හමුදා නිලධාරියාගේ අවසන් කටයුතු සිදු කිරීමට රාගම අධිකරණ වෛද්‍ය නිලධාරී මගින් නිර්දේශ කරන ලද අතර ඒ අනුව නාවික හමුදාව විසින් නිරෝධායන නීතිවලට අනුකූලව ගෞරව දක්වන ලදී. ඉතා ඉක්මනින් අවසන් කටයුතු සිදු කළ අතර තම පියාගේ අවසන් මොහොතට හෝ සහභාගි වන්නට කුඩා දරු පැටවුන්ට වාසනාව පෑදුණේ නැත. ඒ කොරෝනා වසංගතය නිසාය. ලුතිනන් කමාන්ඩර් සුනිල් බණ්ඩාරගේ අවසන් ගමන එසේ සිදු වූයේ නාවික හමුදාවේද සැලකිය යුතු හිඩැසක් එක් කරමිනි.

තාරක වික්‍රමසේකර