කොරෝනා ආසාදිතව අද මියගිය මෝදර ප්‍රදේශයේ කාන්තාවගේ සැමියා පසුගිය දිනවල ත්‍රිරෝද රථයකින් බේකරි නිෂ්පාදන අලෙවිකළ චූන් පාන් වෙළෙන්දෙකු වීම නිසා එම නිෂ්පාදන ලබාගත් අය තැතිගැන්මකට ලක්ව ඇතැයි වාර්තාවේ.
මෙරට 9 වන කොරෝනා මරණය ලෙස වාර්තාවූ මෙම කාන්තාව කොළඹ 15 මෝදර මෙත් සඳ සෙවණ 'බී' තට්ටු නිවාස ඒකකයේ 13 වන මහළේ
වාසය කරමින් සිටි බව හෙළිවී තිබේ. එම බී කොටසේ නිවාසවල 1030 පිරිසක් වාසය කර තිබෙන අතර ඔවුන්වද නිරෝධායනයට යොමු කර තිබේ.


මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයෙන් වාර්තාවූ 52 හැවිරිදි ආසාදිත කාන්තාව මාසයකට වැඩි කාලයක් ඇයට වැළඳී ඇති ආබාධය කොරෝනා බව නොදැන අපහසුතා මැද කල්ගත කර ඇති අතර වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තේ දින 2 කට පෙරයි.

මුලින්ම කොළඹ ජාතික රෝහලට ගොස් ප්‍රතිකාර ලද ඇය පසුව කොරෝනා රෝගය වැළඳී ඇති බව ඊයේ දැනගත් පසුව අයිඩීඑච් රෝහලට මාරු කර ඇත. ඇය අද මියගියේ
 අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටියදීයි.
මෙම කාන්තාවට වෛරසය වැළඳුනු ආකාරය මෙතෙක් හෙළිවී නැත. මෝදර මහජන සෞඛ්‍ය පරීක්ෂක ෂෙහාන් අතුකෝරාල කියා සිටියේ මියගිය කාන්තාවගේ සැමියා පසුගිය දින කිහිපයේ අවට ප්‍රදේශවල ත්‍රිරෝද රථයකින්, බේකරි නිෂ්පාදන අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව සිට ඇති බවයි.
[May05, 2020 - Gossiplankanews.com]