එංගලන්තයේ , ලන්ඩන් නුවර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන්  ඇතුලු පුද්ගලයින් 208 දෙනෙකු රැගෙන අද (04) දින අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. මෙම පිරිස ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට
අද දින අලුයම 3.30 ට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම පිරිස සහ ඔවුන්ගේ ගමන් මලු

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විෂබීජ හරණය කිරීමෙන් පසු , ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඔවුන්ගේ බස් රථ මගින් නීරෝධායන කටයුතු සදහා රැගෙන යෑම සිදු කෙරුණි.
අපව ගෙනියන්නෙ කොහේටදැයි අසමින් මෙම කණ්ඩායමේ ඇතැම් අය ගුවන් තොටුපලේදී කළහකාරී ලෙස හැසිරී ඇති බවද වාර්තා විය.

දියගම තාක්ෂණ මධ්‍යස්ථානයට ගෙනයාමට පිරිස සූදානම් කර ඇති බව දන්වා සිටි පසු තමන් වෙනුවෙන් සූදානම් කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ පහසුකම් හා ප‍්‍රවාහන පහසුකම් ප‍්‍රමාණවත් නොවන බව දක්වමින් ඇතැම් අය වාද විවාද කළ බව කියැවුණි.

අවසානයේ වැඩි සැපපහසුකම් අවශ්‍ය අයට ඊයේ යුදහමුදාපතිවරයා දන්වා සිටි පරිදි රජය නම් කළ හෝටල් වලට මුදල් ගෙවා නිරෝධායනය වියහැකි බව දන්වා ඇති අතර එසේ නොවන අය දියගම තාක්ෂණ මධ්‍යස්තානයට ගෙනයා හැකි බව දන්වා ඇත. ඒ අනුව පැමිණි 208 න් 49 ක් පමණක් දියගමට යන්න කැමතිවී ඇති අතර සෙසු 159 දෙනා වැඩි සැපපහසුකම් සහිත හෝටල් තෝරාගෙන ඇත.

දියගමට ගිය අය අතර පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු සහ කාන්තාවන් 30 දෙනෙකු සහ ළමයින් 04 දෙනෙකු සිටි බව කියැවේ.

දවසට 7500 බැගින් දවස් 14 කට රුපියල් 105000 ක වියදමක් එක් අයෙකු වෙනුවෙන් දැරිය හැකි බව පවසා
නිරෝධායනය සඳහා සෙසු 159 දෙනා හෝටල් තෝරාගෙන ඇත.

ඒ අනුව මීගමුව ජෙට්වින් හෝටලයට 94 ක් (පිරිමි  44 ගැහැණු 47 ළමයින් 03 ) , වස්කඩුව සිට‍්‍රස් හෝටලයට  62ක් (පිරිමි පුද්ගලයින් 33ක් සහ කාන්තාවන් 29 ක්) සහ මීගමුව ඩොල්ෆින් හෝටලයට 03 (පිරිමි) දෙනෙකු ගොස් ඇති බව වාර්තා විය.

මේ අතර ලන්ඩන් නුවර ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින දෙවන කණ්ඩායම මෙරටට  රැගෙන ඒම සදහා තවත් ශ්‍රී ලන්කන් ගුවන්  විශේෂ ගුවන් යානයක් අද (04) දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ලන්ඩන් බලා පිටත්ව ගියේය . මෙම ගුවන් යානය  උදෑසන 10.40 ට ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළ වෙත ගොඩබැස්සවීමට නියමිතය.
[May04, 2020 - Gossiplankanews.com]