සුගිය සති කිහිපය තුළ ගෙවුණේ අභියෝගාත්මක කාල සීමාවක්ය. පෙර අත්නොදුටු වෙනස්කම් අපේ ජීවිත තුළ සිදු වූ අතර යම් සීමා තහංචිද පැනවිණ. සෞඛ්‍ය ‍හේතුන් මත නිවසේ සිට පාසැල් අධ්‍යාපනය ලැබීමට සිදු වීම, කිට්ටු මිතුරන්ව සහ නෑදෑයන්ව මඟ හැරීම නිසා එය ඇත්තෙන්ම දුෂ්කර කාලයක් විය.
නමුත් අගුළු දැමීම හේතුවෙන් ප්‍රයෝජනද නොලැබුණා නොවේ. ජීවිතය කෙමෙන් කෙමෙන්
නැවත යථා තත්ත්වයට පත් වීමේදී අගුළු දැමීමේ කාල සීමාව තුළ අප වර්ධනය කරගත් ඇතැම් පුරුදු මඟ නොහැර දිගටම පවත්වාගැනීම වැදගත්ය. දැන් අපි එවැනි පුරුදු කිහිපයකට අවධානය යොමු කරමු.


පවුලක් ලෙස ආහාර ගැනීම

ඔබේ පවුලේ සාමාජිකයන්ගේ සතුට සහ ශරීර සෞඛ්‍ය වෙනුවෙන් ඔබට කළ හැකි හොඳම දේවලින් එකක් වන්නේ ඔවුන් සමඟ එකට හිඳ ආහාර වේලක් ගැනීමය. මෙමගින් පවුල් බැඳීම් ශක්තිමත් වන අතර පවුලේ සාමාජිකයන් අතර අදහස් හුවමාරුවද වැඩිදියුණු වේ. දරුවන්ගේ ආහාර රටා පිළිබඳව සිදු කළ සමීක්ෂණයකින් හෙළි වූයේ නිතිපතා පවුලක් ලෙස ආහාර අනුභව කරන නිවෙස්වල දරුවන්ට වැඩි මානසික ශක්තියක් දැනෙන බවය. එකට ආහාර අනුභව කරද්දී යොවුන් දරුවන් තුළ වඩාත් සුරක්ෂිත බවක් දැනෙන බවත් වැඩිහිටියන්ගේ මානසික ආතතිය අඩු වන බවත් සාක්ෂිවලින් පෙන්වා දෙයි.

තියෙන දෙයින් ආහාර වර්ග පිළියෙල කිරීම

වෙනදාට දඩිබිඩියේ මොකක් හරි සරල ආහාරයක් පිසින ගෘහණියන් අගුළු දැමීමේ කාල සීමාව ඇතුළත නිර්මාණාත්මක කෝකියෝ බවට පත් වී තිබේ.
මෙම කාල සීමාව තුළ අපෙන් වැඩිදෙනෙක් උත්සාහ කරන්නේ කබඩ් එකේ අඩුක්කරලා තියෙන ආහාර ද්‍රව්‍ය මොනවාද කියා හොඳින් පරීක්ෂා කර විවිධ අමුද්‍රව්‍ය එක් කරමින් ආහාර අපතේ යෑම වළක්වමින් පෝෂ්‍යදායී ආහාර වේලක් පිළියෙල කිරීමටය. එහි ප්‍රයෝජන අපට පැහැදිලිය. එක් එක් ආහාර වේලට ඇතුළත් කළ යුත්තේ මොනවාද කියා ඔබ හොඳ අවබෝධයකින් කටයුතු කරන බැවින් සෞඛ්‍යසම්පන්න සහ රස නහර පිනවන ආහාර වේල් පිළියෙල කිරීමට ඔබට හැකි වෙන්න ඇති.
වියදම සහ නාස්තිය අවම කරගැනීමට ඔබ වියළි ආහාර ද්‍රව්‍ය භාවිත කිරීම නිසා ඔබේ වියදම පාලනය කරගැනීමට හැකි වී තිබෙනවා වන්නට පුළුවන. එය එක්තරා අභියෝගයක් වුවද රසයෙන් සහ ගුණයෙන් සපිරි නව ආහාර වර්ග පිළියෙල කර අත්හදා බැලීමට එය ඔබව දිරිගන්වයි.

වැඩිපුර ව්‍යායාම්වල නිරත වීම

ඔබ කුමන ආකාරයේ ව්‍යායාම් වර්ගයක නිරත වුවද පොදුවේ ව්‍යායාම්වල නිරත වීම බොහෝ නිවැසියන්ගේ ජීවන රටාවට එක් වී තිබේ. ඕනෑම ව්‍යායාම් සැලසුමකදී අපහසුම කාර්යය වන්නේ නිතිපතා ව්‍යායාම් රටාවකට ඇලී සිටීම බව විශේෂඥයෝ පවසති. නමුත් යහපත් ව්‍යායාම් පුරුදු ඇති කරගැනීමට අගුළු දැමීම බොහෝදෙනාට උපකාරවත් වී තිබේ. ව්‍යායාම් කිරීම කොතරම් පහසු කාර්යයක්ද කියා දැන් අප සැම හොඳින් දන්නා නිසා ඉන් වැළකී සිටීමට ඉදිරිපත් කළ හැකි නිදහසට කරුණු දැන් අපට නැතිය.

ගෙවතු වගාවට යොමු වීම

ගෙවතු දැන් ගහ කොළින් පිරුණු උද්‍යාන බවට පත් වෙලාය. වත්ත පිටියට යෑමට එය හේතු සපයයි. හෘදයාබාධ හෝ ආඝාතය වැළඳීමේ අවදානම සහ මානසික අවපීඩනය අඩු කිරීමට ගෙවතු වගාවෙහි යෙදීම උපකාරවත් වන බව සොයාගැනීම් පෙන්වා දෙයි.
කලින් වගේ Gym එකට යා නොහැකි පුද්ගලයන්ට ඒ වෙනුවට කළ හැකි හොඳම දෙය වන්නේ ගෙවතු වගාවෙහි නිරත වීමය. ගෙවත්තෙහි කාර්යයන් සඳහා පැයක් වෙහෙස වීමේදී කැලරි 300ක් පමණ දහනය වේ. විටමින් D වලින් අනූන හිරු එළියට නිරාවරණය වීමේදී ප්‍රතිශක්තිකරණ පද්ධතියද ශක්තිමත් වේ.

අසල්වාසීන් සමඟ කතාබහ කිරීම

අසල්වැසියන් සමඟ කතාබහ කිරීමෙන් අප සමාජයට අයත් යන හැඟීම අප තුළ ඇති කරන අතර තනිකම මඟ හරවාගැනීමටද උපකාරවත් වේ. අප වෙනත් පුද්ගලයන්ට කාරුණික වී ඔවුන්ට උපකාර කිරීමේදී සතුටට සහ ශුභවාදීව කාරණා දෙස බැලීමට අපව යොමු කරන ආකාරයේ මානසික වෙනස්කම් අපගේ මොළය තුළ සිදු වේ.

ස්වභාවිකව නින්දෙන් අවදි වීම

සාමාන්‍යයෙන් උදෑසන නාද වන ඔරලෝසුවේ සීනු හඬ අපට පවසන්නේ ‘අවදි වන්න’ කියාය. නමුත් උදෑසන හිරු ආලෝකය පතිත වන විට අප ස්වභාවයෙන්ම අවදි වේ. මීට හේතු වන්නේ අපගේ ශරීර තුළ ඇති ජීව විද්‍යාත්මක රිද්මයක්ය. ශරීරය තුළ ක්‍රියාත්මක වන මෙම සංකීර්ණ ඔරලෝසුව අප තුළ ඇති වන නිදිමත සහ නින්දෙන් අවදි විය යුතු බව පාලනය කරයි.
ඔබ මෙම ජීව විද්‍යාත්මක ඔරලෝසුවට අවනත වන්නේ නම්, එනම් ස්වභාවයෙන්ම ඔබ අවදි වන විට අවදි වී රාත්‍රියේදී ඔබට ස්වභාවයෙන්ම නිදිමත දැනෙන මොහොතේදී නින්දට යන්නේ නම් ඔබට හොඳ නින්දක් ලබාගත හැකි බවත් දවස පුරා වැඩි ශක්තියක් දැනෙන බවත් අධ්‍යයන මගින් පවසනු ලබයි.

අඩුවෙන් මේකප් දැමීම

අගුළු දැමීම අතරතුර ඔබ මේකප් දැම්මේ අඩුවෙන් නම් ඔබගේ මුහුණේ යම් වෙනස්කම් සිදු වී ඇති බව ඔබගේ අවධානයට ලක් වන්නට ඇත. Foundation සහ powder මුහුණේ සිදුරු තුළ රැ‍ඳෙන අතර එම සිදුරු විශාල කිරීමට දායක වෙයි. නමුත් ඒවා අඩුවෙන් භාවිත කිරීම මගින් මුහුණේ සිදුරු කුඩා වීම සහ පැහැදිලි සමක් ලැබීම දැකගත හැකිය.
මේකප් මගින් වයසට යෑමේදී මුහුණේ ඇති වන රැළි වැටීම කැපී පෙනීමට සලස්වන බව සම පිළිබඳ විශේෂඥයෝ පවසයි. එම ආලේපන මගින් මුහුණේ ඉතිරි වන අවශේෂ මගින් ඔබ නිදාගන්නා විට සම අලුත් වීම වළක්වයි. එය සමේ වියළි සහ මලානික පෙනුමක් ඇති වීමට මඟ පාදයි.

අඩුවෙන් නෑම

අගුළු දැමීමට පෙර අඩුවෙන් නෑම ඔබ තුළ දක්නට ‍‍නොලැබි දෙයක් විය හැකිය. නමුත් එහි වාසි ප්‍රයෝජන තිබේ. ෂැම්පූවල තිබෙන රසායනික ද්‍රව්‍ය මගින් ඔබේ හිස්කබලෙහි කැසීමක් ඇති කළ හැකිය. දිනපතා හිස සේදීමට විරාමයක් ලබා දීම ඔබේ සෞඛ්‍යට සහ හිසකෙස් ගුණාත්මක බවට යහපත් බලපෑමක් ඇති කරයි. අපගේ සම මතුපිට ස්වාහාවික තෙල් ගතියක් නිපදවෙන බැවින් හිස නොසේදීම නිසා එමගින් හිස කෙස්වලට දිදුලන බවක් ලැබේ.

අඩුවෙන් වැඩ කිරීම

අගුළු දැමීම නිසා සමාජයීය ක්‍රියාකාරකම් සීමා වූ අතර දැඩි කාලටසහනකට ඇලී සිටීමේ අවශ්‍යතාවය අඩු විය. යම් විවේකයක් ලැබීම මගින් නිවැරදී තේරීම් කිරීමට සහ තීරණ ගැනීමට නිදහස ලැබෙන බව සාක්ෂි මගින් පෙන්වා දෙයි. මනස යොමු කිරීමට තිබෙන කරුණු අඩු වීම හේතුවෙන් පැහැදිලිව සිතීමට සහ අපගේ උපරිමය කිරීමට හැකි වන බව විශේෂඥයන්ගේ මතයය.


ස්තුතිවන්ත වීම

අපේ ජීවිතය තුළ තිබෙන හොඳ දේවල් පිළිබඳව සිතා බැලීමට අපි මෙම අසීරු කාලය තුළ ඉගෙනගත්තෙමු. එසේ සිතා බැලීම දිගටම ජීවත් වීම සඳහා හේතු සපයයි. ක්ෂණිකව නරක හැඟීම් හොඳ හැඟීම් බවට පත් කර ගැනීමට, අපගේ ශරීර සෞඛ්‍ය දියුණ කරගැනීමට සහ යහපැවැත්මට ස්තුතිවන්ත වීම දායක වෙයි.
ස්තුතිවන්ත පුද්ගලයන්ගේ මානසික ආතතිය සහ පීඩනය අඩු බවත් ඔවුන්ට හොඳ නින්දක් ලැබෙන බවත් සමීක්ෂණවලින් හෙළි වී තිබේ.
කුඩා වුවත් හොඳ දේවලට අවධානය යොමු කිරීම මගින් ජීවිතයට තෘප්තියක් එකතු වන අතර ශුභවාදී මනසක් පවත්වාගැනීමටද එය උපකාරී වේ.

කිසිවක් නොකිරීම

මානසික සෞඛ්‍යයට සහ නිර්මාණාත්මක බවට කිසිවක් නොකර යම් කාලයක් ගත කිරීමද අත්‍යවශ්‍ය බව සමීක්ෂණවලින් හෙළි කරයි. මොළය තුළ ප්‍රශ්න ගැටලු විසඳීමේ ක්‍රියාවලියට එය දායක වේ. කම්මැලිකමක් දැනීම පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනවලින් පෙන්වා දෙන්නේ එය නිර්මාණාත්මක වීමට මඟ පාදන බවත් උනන්දුවක් ඇති කරගැනීමට අලුත් ක්‍රම සොයාගැනීමට මඟ පාදන බවත්ය. එමනිසා සෑම දිනකම මිනිත්තු කිහිපයකට හෝ කිසිවක් කිරීමෙන් වැළකී සිටීම මගින් අපගේ මොළය උත්තේජනය වේ.

(UK Daily Mirror ඇසුරිනි)
එස්. දහනායක
[May29, 2020 - Gossiplankanews.com]