කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින කඩුවෙල ප්‍රදේශයේ පාතාල සාමාජිකයකුට බන්ධනාගාර නිලධාරියකු මාර්ගයෙන් ලක්ෂ 4ට ආසන්න වටිනා හෙරොයින් ප්‍රමාණයක් ලබා දීමට තැත්කළ දෙදෙනකු හෙරොයින් ද  සමග ඊයේ (28) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.


සැකකරුවන් දෙදෙනා මාකොළ හා මාබිම යන ප්‍රදේශවල පදිංචිකරුවෝය. පොලිස් අත්අඩංගුවට පත්වන අවස්ථාවේ  ඔවුන් දෙදෙනා ළග හෙරොයින් ග්‍රෑම් 2.2 ට අධික ප්‍රමාණයක් තිබී ඇත.
 මෙම සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර නිලධාරියකු  මාර්ගයෙන් මෙම හෙරොයින් බන්ධනාගාරයට යැවීමට සුදානමින් සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් ඊයේ  පස්වරු 1.00ට පමණ එහි රැක සිට ඇති අතර එක් බුද්ධි නිලධාරියෙක් බන්ධනාගාර නිලධාරියකු වශයෙන් වෙස් වලාගෙන එම ස්ථානයේ රැඳී සිටි බව උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය.
සැකකරුවන් මෝටර් රථයෙන් බන්ධනාගාරය අසලට පැමිණ බන්ධනාගාර නිලධාරියකු වශයෙන් වෙස් වලාගෙන සිටි පොලිස් නිලධාරියාට මත්කුඩු සහිත පාර්සලය ලබා දී ඇති අතර පසුව අවට රැක සිටි පොලිස් නිලධාරින් විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලදි.
සැකකරුවන් දෙදෙනා මත්කුඩු ලබා දීමට සුදානමින් සිටි බන්ධනාගාර නිලධාරියා නොහඳුනන බව පොලිසිය පවසයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජනක නන්දන මහතාගේ අධීක්ෂණය මත , සහකාර පොලිස් අධිකාරී (පාලන) නෙවිල් සිල්වා, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එරංග ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ මෙහෙයවිමෙන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ.ජී.එස්. සුසන්ත, අපරාධ බුද්ධි ඒකකය වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගත්ත.

ඉන්දිකා රාමනායක