විදේශයන්හි පැමිණ කළුතර දිස්ත්‍රික්කයේ තරු පන්තියේ හෝටල් කිහිපයක නිරෝධායනය වන පිරිසක් ජෛව සාම්පල් ලබා ගැනීම සඳහා යන වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා කරන්නේ
නම් ඔවුන්ට නිරෝධායන නීතිය යටතේ කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
 මේ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පළ වූ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමු වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අජිත් රෝහණ මහතා කීය.
 මොවුන් තවදුරටත් එසේ හැසිරෙන්නේ නම් නිරෝධායන නීතිය කඩකළ පුද්ගලයන් වශයෙන් සලකා නීතිමය පියවර ගන්නා බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය. විදේශයන්හී සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් කළුතර දිස්ත්‍රික්කයේ හෝටල් කිහිපයක නිරෝධායන වන බවත් ඔවුන් කොවිච් 19
පාලනයට ලබා දී ඇති උපදෙස් ක්‍රියාත්මක  නොකර නිලධාරින්ගේ රාජකාරියට බාධා කරන බවත් මොවුන් තවදුරටත් නිලධාරින්ට සහයෝගය නොදෙන්නේම් තම කාර්ය මණ්ඩලයට එම රාජකාරිවලින් ඉවත් වීමට සිදුවන බව කළුතර දිස්ත්‍රික් කොවිච් 19 මර්දන සම්බන්ධීකරණ නිලධාරී වෛද්‍ය ක්‍රිශාන්
හිරිමුතුගොඩ මහතා පසුගියදා මාධ්‍යවලට අනාවරණය කර තිබිණි.
  තම සෞඛ්‍ය ආරක්ෂාව පතා මෙරටට පැමිණෙන පිරිස් කොමිස 19 වයිරසය මෙරටින් තුරන් කිරීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අවශ්‍ය සහයෝගය ලබා දිය යුතු බවත් කිසිවකු හෝ එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් අජිත් රෝහණ මහතා කීය.

ඉදිරියේදී ද පිට රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් කොවිඩ් මර්දනයට කටයුතු සඳහා උපරිම සහාය බලාපොරොත්තු වන බවද අජිත් රෝහණ මහතා තවදුරටත් පැවසීය.
(ඉන්දිකා රාමනායක)