පාකිස්තානු නිරූපිකාවක් සහ නිළියක් වන සාරා අබීඩ්, මෑතකදී සිදු වූ ගුවන් අනතුරකින් මියගොස් තිබේ. මරණයට පත් 97 දෙනෙකුගෙන් එක් අයෙකු වන ඇයව සහ ඇගේ වෘත්තිය ආගමික සම්ප්‍රදායිකයින් විසින් අන්තර්ජාලය හරහා ලැජ්ජාවට පත් කර ඇත.

පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවය විසින් මෙහෙයවන ලද මෙම යානය මැයි 22 වන දින කරච්චිහි ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපල අසලදී අනතුරට ලක්ව විය. මෙම ගුවන් අනතුරින් ඉතිරි වී ඇත්තේ දෙදෙනෙකු පමණක් බව ඇසෝසියේටඩ් ප්‍රෙස් විසින් වාර්තා කර තිබුණි.

එමෙන්ම ඒපී විසින් වාර්තා කර ඇත්තේ මේ වන විට හඳුනාගෙන ඇති මළ සිරුරු සංඛ්‍යාව 19 ක් වන බවයි. සති අන්තයේ පැවති ඊද් උල්-ෆිතර් සැමරුම සඳහා මෙම ගුවන් යානයේ බොහෝ මගීන් ගමන් කර ඇත.

පකිස්ථාන ප්‍රවෘත්ති ඒජන්සියක් වන ටයිම්ස් ඔෆ් ඉස්ලාමාබාද් පුවත්පතට අනුව, 28 හැවිරිදි අබීඩ් සම්මානලාභී නිරූපිකාවක් වන අතර, ඇගේ පළමු චිත්‍රපටය වන “චෞද්රි" එළිදැක්වීමට සූදානම්ව සිටි අවස්ථාවේ ඇය මෙම අනතුරට පත්ව තිබේ.

ජනවාරි මාසයේ දී ජාතික ප්‍රදර්ශන ව්‍යාපාර සම්මාන උළෙලක් වන හම් ස්ටයිල් සම්මාන උළෙලේදී ඇය "හොඳම කාන්තා නිරූපිකාව" ලෙස සම්මාන ලැබූ බවද බීබීසී වාර්තා කර ඇත.

කෙසේ වෙතත් විවිධ පිරිස් විසින් නිරූපිකාවක් ලෙස ඇගේ වෘත්තිය පිළිබඳව ඍණාත්මක අදහස් දැක්වීමෙන් පසුව ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් සියල්ල ඉවත් කර ඇති බවද බීබීසී වාර්තා කර තිබේ.

පාකිස්තානය ප්‍රධාන වශයෙන් මුස්ලිම් රටකි. 2017දී ලෝක ආර්ථික සංසදයේ  ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ වාර්තාවක සෞඛ්‍ය, අධ්‍යාපනය, ආර්ථිකය සහ දේශපාලනය සඳහා කාන්තාවන්ගේ සහභාගීත්වය සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් කතා බහට ලක් වූ රටක් බවට පාකිස්තානය පත්ව තිබේ.

මෙම ගුවන් අනතුරත් සමඟ පාකිස්ථානයේ කාන්තාවන් සම්බන්ධයෙන් විවිධ විවේචනයන් පල වී තිබේ. මෙම අනතුරින් විපතට පත් වූවන් වෙනුවෙන් යාඥා කරන්නැයි බොහෝ දෙනෙක් ඉල්ලා සිට ඇත.

නමුත් සාරා අබීඩ් සම්බන්ධයෙන් විවිධ මතයන් පල වීම හේතුවෙන් ඇය පිළිබඳව බොහෝ දෙනෙක් විවේචනාත්මක අදහස් පල කර ඇත. පාකිස්ථානයේ සම්ප්‍රදායට නොගැළපෙන බටහිර ඇඳුම් සහ ඉරියව් වලින් සැරසී සිටින අබීඩ් විවිධ ගවුම්, ජීන්ස් සහ ඉඳහිට පිහිනුම් ඇඳුම් ඇඳීම සම්බන්ධයෙන්ද බොහෝ දෙනා විවේචන එල්ල කර තිබුණි.
එමෙන්ම තම ශරීර කොටස් පෙන්වන කාන්තාවන්ට අල්ලාහ් කැමති නැති බවටත් ස්වර්ගය පිරිසිදු පිරිමින්ට සහ පිරිසිදු කාන්තාවන් සඳහා පමණක් වන බවටත් විවිධ මත පල වී තිබේ.

(රිෂ්මි ඉෂාරා)