හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා හෙට (29) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීම වළක්වාලමින් අභියාචනාධිකරණය ඊයේ (27) අතුරු නියෝගයක් නිකුත් කළේය.
ලබන ජුනි 8 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි අභියාචනාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කර ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග එක්වී බොරු සාක්ෂි සෑදීම සඳහා කුමන්ත්‍රණය
කළා යැයි කියන චෝදනා යටතේ තමන්ට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙත නඩු විභාගය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ගොනු කළ රිට් පෙත්සම සලකා බලමින් අභියාචනාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කළේය.

සභාපති ඒ.එච්.එම්.ඩී නවංස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුගෙන් යුත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි. මෙම පෙත්සම ඊයේ අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී පෙස්සම්කාර හිටපු මහාධිකරණ විනිසුරුවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා
මහතා කියා සිටියේ තම සේවාදායකයාට එරෙහිව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග එක්වී බොරු සාක්ෂි සෑදීම සඳහා කුමන්ත්‍රණය කළා යැයි කියන චෝදනා යටතේ නුගේගොඩ මහසේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයට අදාළව එම මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ සිතාසිය නීතියට පටහැනි බවය.

එසේම එම සිතාසිය මගින් සිය සේවාදායකයාගේ අයිතිවාසිකම් කඩවී ඇති බවත්, එය ස්වභාව යුක්ත මූලධර්මයට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.
කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ජුනි 08  වැනිදා තෙක් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී  සිටීම වළක්වාලමින් මෙම අතුරු නියෝගය නිකුත් කළේය.  තමන්ට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය නවත්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගිහාන් පිලපිටිය මහතා ගොනු කළ මෙම රිටි පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත්, වැඩබලන පොලිස්පති ඇතුළු තිදෙනෙක් නම් කරනු ලැබ සිටියහ.

(රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා)