සුවය ලබා ජාතික බෝ වන රෝග විද්‍යායතනයෙන් (IDH) පිට වන රෝගීන් ගණනාවකගේ සුව වීම පිටුපස තිබෙන්නේ අප කිසිවෙකුත් නොදකින කතාවක්ය. සති ගණනාවක් හෝ මාස කිහිපයක් පුරාවට
තම පවුලේ සාමාජිකයන් නොදැක රෝහලට වී කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන හෙදියන් මෙම නොදකින කතාවේ කොටස්කරුවෝ වෙති. ඔවුන් රෝගීන්ට ආදරය සහ සැලකිල්ල දක්වමින් ප්‍රතිකාර කරන්නේ හුස්ම හිර වෙන ආරක්ෂිත ඇඳුම් ඇඳගෙනය. තම දිවි පරදුවේ තබමින් ඔවුන් වෙහෙසෙන්නේ අන්‍යයන්ගේ රැක දීමටය.
“මෙම ගෝලීය වසංගතය ශ්‍රී ලංකාවට දරුණු ලෙස බලපෑම් ඇති කළොත් අප එය හසුරුවන්නේ කෙසේද කියා කාර්යමණ්ඩලය තුළ බියක් ඇති වී තිබුණා.
නිවසේ කුඩා දරුවන් සිටින හෙදියන් සහ තම ගම් පළාතට ගමන් කළ නොහැකි හෙදියන් තම නිවෙස්වලට දුරකතන ඇමතුම් ලබා දෙමින් තමා සුවෙන් සිටින බවත් තම කුඩා දරුවන්ව තමන්ට කොතරම් මඟ හැරෙනවාද කියාත් පවසන අයුරු දක්නට ලැබුණා. ඇතැම් හෙදියන් තම පවුලේ සාමාජිකයන්ව ගම්පළාත්වලට යවලා ඔවුන් කුලියට ගත් කාමරවල සහ හෙදියන්ට නවාතැන් ගැනීමට තිබෙන ස්ථානයේ නවාතැන් ගත්තා” කියා පෙරේරා මෙනවිය තවදුරටත් අදහස් දැක්වීය.
සාස්, සූකර උණ, කුරුළු උණ, මර්ස් සහ ඉබෝලා වැනි වෙනත් ගෝලීය වසංගත තත්ත්වයන් යටතේදීද IDH රෝහලේ හෙදියෝ බිය නොතකා එම රෝගවලට ප්‍රතිකාර කිරීමට පුහුණුව ලබාගෙන සූදානමින් සිටියහ.
“අපිට ලබා දුන් මඟ පෙන්වීම් සහ පුහුණුව නිසා මේ වගේ තත්ත්වයක් හසුරුවන්නේ කොහොමද කියලා අපි අවබෝධයක් තිබුණා. කණිෂ්ඨ හෙදියන්ට, සුළු සේවකයන්ට සහ රෝහලට ඇතුල් වන රෝගීන්ට පවා අප අවශ්‍ය පුහුණුව ලබා දුන්නා. ආරක්ෂක ඇඳුම (PPE) ඇඳගෙන උෂ්ණාධික දිනවල රාජකාරියේ යෙදීම ලෙහෙසි දෙයක් නොවේ. අපි අඳින ඇතුළත ඇඳුම හදලා තියෙන්නේ කපු රෙදිවලින්. ඊටපස්සේ පිටත ආවරණයකුත් තියෙනවා. හිස් වැස්ම, නාස් හා මුඛ ආවරණ, සහ මුහුණු ආවරණයකුත් අප පැළඳිය යුතුයි. විදුලි පංකාත් ක්‍රියාවිරහිත කරලා නිසා මේ ඇඳුම් පැළඳුම් නිසා වෙලාවකට හුස්ම හිර වෙනවා වගේ.
හෙම්බත් වෙනවා.”
විවිධ ආයතන සහ පුද්ගලයන් විසින් වියළි ආහාර හෝ සකස් කරන ලද ආහාර රෝහල වෙතට ලබා දීම හෙදියන්ට සහ කාර්යමණ්ඩලයට දිරිගැන්වීමක් වී තිබෙන බව ඇය පැවසීය.
“අපි රෝගීන්ට ප්‍රතිකාර කරමින් රෝහල තුළ කොටු වෙලා. අපේ කැපවීම සහ අපි දරන වෙහෙස පොදු ජනයා තේරුම්ගන්නා බව අප දැන සිටියා. වියළි ආහාර මිල දී ගන්න වෙළඳසැල්වලට යන්න අපට වේලාවක් තිබුණේ නැහැ. ඇඳිරි නීතිය අතරතුර අපේ පවුල්වල අය මොන තරම් සටනක නිරත වුණාද කියලා අපි දන්නේ නැහැ.”
“අපි ඔවුන් මඟ පෙන්නුවා. මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න ඔවුන් සම්පුර්ණයෙන්ම සූදානම්ද කියා තහවුරු කරගත්තා. වූහාන්වල ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ නඟිද්දී අපි දේවල් සූදානම් කරන්න පටන්ගත්තා. රෝගීන් මුලින්ම ඇතුළත් වන එකම රෝහල මෙයයි. ඒ නිසා අප සූදානමින් සිටීම වැදගත් කරුණක් විය” කියා ගීතානි අදහස් දැක්වීය.
“අපිව ශක්තිමත් කරන්නේ අපේ පවුල්වලින් ලැබෙන සහයෝගයයි. මාතෘ නිවාඩු මත සිටි ඇතැම් හෙදියන් නැවත රාජකාරියට වාර්තා කර තිබෙනවා. උද්යෝගයෙන් වැඩ කළ තරුණ හෙදියන්ට ලොකු අධිෂ්ඨනයක් තිබුණා. නවාතැනට ගිහින් ටිකක් විවේක ගන්න කියා ඔවුන්ට උපදෙස් දීමට සිදු වූ අවස්ථා තිබුණා. ඒ සෑම අයෙක්ම වෙහෙස නොබලා සේවය කළේ ජීවිත රැකගැනීම උදෙසායි” කියා ගීතානි තවදුරටත් අදහස් දැක්වීය.
රෝගීන් ගණන ඉහළ නඟිද්දී හෙදියන් සිටින ස්ථාන සහ වෛද්‍යවරුන්ගේ ස්ථාන පවා රෝගීන්ට ලබා දුන් අතර හෙදියන්ට කල් ගෙවීමට සිදු වූයේ කොරිඩෝවලය.
“හයියෙන් වහිද්දී හෙදියන්ට රැඳී සිටින්න ස්ථානයක් නැහැ. රෝහල් භූමියේ සකස් කරන ලද තාවකාලික ටෙන්ට් එක ඇතුළේ හිටියා කියලා දැඩි වර්ෂාපතනයෙන් ආරක්ෂා වෙන්න අමාරුයි.”
“අවුරුදු 21කට පෙර IDH රෝහලේ හෙද සේවිකාවක් ලෙස රැකියාව ලැබුණු විට ඇතැමුන් මගෙන් ඇසුවා ඒක දඬුවම් මාරු වීමක්ද කියලා. මෙම රෝහලේ හෙද සේවයේ නිරත වෙලා ජීවිත රැසක් රැක දෙන්න දායක වීමට ලැබුණු අවස්ථාව අද මට දැනෙන්නේ ආශීර්වාදයක් ලෙසය. මෙහේ ඉන්න හෙදියන් සියලුදෙනාම එක පවුලක් වැනිය. අපි සැම එකමුතුව මෙම කාර්යයේ නියුතුව සිටින්නෙමු.”
(Sunday Times ඇසුරිනි)
එස්. දහනායක
[May22, 2020 - Gossiplankanews.com]