සිය මෝටර් රථයේ කසිප්පු බෝතල් එක හමාරක් සහ ගංජා පැකැට්ටුවක් තබාගෙන සිටි වෛද්‍යවරයකු මරඳන්කඩවල, ඉටිටිකටිටියේදී 17 වැනිදා රාත්‍රියේ තිරප්පනේ සහ කැකිරාව පොලිස් ස්ථානවල නිලධාරින් ඒකාබද්ධව සිදු කළ වැටලීමකදී
අත්අඩංගුවට ගෙන ඇත. කලක් මරදන්කඩවල රෝහලක සේවය කළ මෙම වෛද්‍යවරයා දැනට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහලක සේවය කරන බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත.


 තිරප්පනේ පොලිසියේ නිලධාරියකු ප්‍රකාශ කළේ, ඒ - 9 ප්‍රධාන මාර්ගයේ 70 කණුව අසලදී පෙරේදා රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු ළඟ ගංජා ග්‍රෑම් 100ක් තිබී සොයා ගැනීමෙන් පසු කළ ප්‍රශ්න කිරිමේදී ඔහුට ගංජා සපයන පුද්ගලයා ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවූ බවයි.

ඒ අනුව පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගත් එම සැකකරු උපාය දූතයෙකු ලෙස  යොදාගෙන ඔහුට ගංජා සැපයූ පුද්ගලයාට දුරකතන ඇමතුමක් දී හදිසියේම ගංජා ග්‍රෑම් 500ක ඇණවුමක් ලැබුණු බව පවසා එම ගංජා ප්‍රමාණය රැගෙන ඒ - 9 ප්‍රධාන මාර්ගයේ ස්ථානයකට පැමිණෙන්නැයි දන්වා ඇත.

 ඒ අනුව එම ජාවාරම්කරු අදාළ ස්ථානයට ගංජා ග්‍රෑම් 500ක ප්‍රමාණය ද රැගෙන පැමිණ තිබුණි. ගංජා පාර්සලය උපාය දූතයාට ලබා දෙනවාත් සමගම සැගව සිටි පොලිස් නිලධාරින් ඔහු අත්අඩංගුවට ගැනීමට සුදානම් වෙද්දී එය ජාවාරම්කරු ඔහු පැමිණිය යතුරුපැදිය පොලිස් නිලධාරියකුගේ ඇඟට කපා බේරී පලා ගොස් තිබුණි.

 පසුව ඔහු ලුහුබැඳ ගිය තිරප්පනේ පොලිසියේ නිලධාරීන් කැකිරාව පොලිස් වසමේ මරදන්කඩවල, ඉට්ටිකට්ටියේ පිහිටි  ඔහුගේ නිවෙස වටලා පරීක්ෂා කිරීමේදී පලා ආ සැකකරු නිවෙසකට පැමිණ නොමැති බව පෙනී ගොස් තිබුණි.

මේ අවස්ථාවේ කැකිරාව පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් ද එතැනට පැමිණ ඇති අතර, මේ වෙලෙහි නිවසේ සිටි පිලා ගිය සැකකරුගේ සහෝදරියක සමග විවාහ වී සිටින බව කියන සැකකාර වෛද්‍යවරයා ඔහුගේ මෝටර් රථයේ නැගී එතැනින් පිටත්ව යාමට සුදානම් වනු දැක පොලිස් නිලධාරින්ට ඇති වූ සැකයට මෝටර් රථය පරික්ෂා කර තිබුණි. එහිදී මෝටර් රථයේ තිබූ කසිප්පු බෝතල් එක හමාර සහ ගංජා පැකැට්ටුව හමුවූ බව පොලිසිය කියයි. ඒ අනුව සැකකාර වෛද්‍යවරයා කැකිරාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කසිප්පු සහ ගංජා තිබු මෝටර් රථය ද සිය බාරයට ගෙන තිබූ අතර, කලින් ගංජා ග්‍රෑම් 100ක් සමග හසුවූ සැකකරු තිරප්පනේ පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබිණි.


පලා ගිය සැකකරු සොයා අත්අඩංගුවට ගැනීමට තිරප්පනේ පොලිසිය වැඩිදුරටත් පරික්ෂණ පවත්වයි. උතුරුමැද නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් අනුව තිරප්පනේ පොලිසියේ ස්ථානාධිපති බණ්ඩාර රත්නායක සහ කැකිරාව පොලිසියේ ස්ථානාධිපති සමන් කුමාරසිංහ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ  සිදුකෙරේ.

(අතුල බණ්ඩාර,තිරප්පනේ සමන් කේ, ගමගේ සහ අනුරාධපුර දයාරත්න ඇඹෝගම)