අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සේවය කරනු ලබන හෙද කාර්ය මණ්ඩලයට රුපියල් මිලියන 15 ක පමණ වටිනාකමකින් යුතු පරිත්‍යාගයක් ලෙස ලැබුණු අංග සම්පූර්ණ නව හෙද නේවාසිකාගාරය රෝහල වෙත ප්‍රදානය කිරිම අද දින (08) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.



කොරෝනා ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කරනු ලබන දිවයිනේ ප්‍රධානතම රෝහලක් ලෙස මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යාතනය හැඳින්විය හැකියි.


කොළඹ රාජකීය විද්‍යාලීය ආදි ශිෂ්‍යයින්ගේ East Cost පදනමේ ලේකම් සේනක සෙනෙවිරත්න මහතාගේ සම්බන්ධීකරණයෙන් එම සංගමයේ සභාපති වෛද්‍ය සුකුමාර් නාගේන්ද්‍රන් මහතාගේ රුපියල් මිලියන 15 ක මූල්‍ය ප්‍රදානය මත මෙම අංග සම්පූර්ණ හෙද නේවාසිකාගාරය ඉදිකිරිමට පියවර ගෙන ඇත.

මේ සදහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ (තාක්ෂණ) සුසන්ත අබේසිරිවර්ධන මහතා ඇතුලු එම කණ්ඩායමේ පූර්ණ තාක්ෂණික දායකත්වය ද එහි ප්‍රධාන ඉංජිනේරු (සිවිල්) සමන් දේවප්‍රිය මහතා ඇතුලු වඩු කර්මාන්ත ශාලාවේ සේවක මහතුන්ගේ පූර්ණ දායකත්වය ද සපයා ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ නියෝගය පරිදි එයාර් වයිස් මාර්ෂල් රුචිර සමරසිංහ සහ වින්ග් කමාන්ඩර් ක්‍රිෂාන්ත හේවාපතිරණ ඇතුළු වීරෝධාර ගුවන් විරුවන්ගේ ශ්‍රම දායකත්වය ද මෙම නේවාසිකාගාරය ඉදිකිරිම සදහා ලබාදෙන ලදි.

ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු LHP Eco පුද්ගලික සමාගම විසින් සිදු කර ඇත.

අද දිනයේ දී වැඩ නිම කරන ලද නේවාසිකාගාරය කාමර 16 කින් යුක්ත වෙයි.

එහි හෙද නිලධාරිනියන් 30 කු සඳහා නේවාසික පහසුකම් ඇත.