මෙරට විශාලතම ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනය යයි කියමින් හෝමාගම දියගම ප‍්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ක්‍රිකට් පිටිය පිළිබඳ හෝමාගම මන්ත්‍රී ඇමති බන්දුල ගුණවර්ධන කර තිබෙන ප්‍රචාරණය සමග මේ දිනවල විවේචන මතුව තිබේ. ලංකාවට මෙවැනි මුදල් නාස්ති කිරීම් මේ වෙලාවේ අවශ්‍ය නැති බව
ජන මතයයි. මේ අතර ප්‍රවීණ ක්‍රීකට් ක්‍රීඩක මහේල ජයවර්ධනද පවසා තිබුනේ ලංකාවට පමණටත් වඩා ක්‍රිකට් පිටි පවතින බවයි.
මෙම විවේචන මැද ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ඊට පිළිතුරු සපයා තිබේ.

එහි දැක් වෙන්නේ මෙම ඉදිකිරීම් සදහා රජය කිසිදු මුදලක් වැය නොකරන බවයි.
වැය වන සියලූ මුදල් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ආයෝජනය කරන බවයි.
මෙම ඉදිකිරීම හේතුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මෙහෙයුම් සහ වෙනත් සංවර්ධන ව්‍යාපෘති සදහා මූල්‍යමය ගැටලූවක් ඇති නොවන බවද ක‍්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.

ක‍්‍රීඩාව සදහා පවතින ඉල්ලූම ඉහළ යාම හේතුවෙන් නාගරික පරිසරයක් තුළ විශාල ජනතාවකට නැරඹිය හැකි, පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි ක‍්‍රීඩාංගනයක අවශ්‍යතාවය පැන නැගී ඇති බවත්  අයි.සී.සී ලෝක මට්ටමේ තරගාවලි සදහා සත්කාරකත්වය ලබා ගැනීමට නම් අවම වශයෙන් ප්‍රේක්ෂකයින් 25,000ත් 40,000ත් අතර පිරිසකට තරග නැරඹිය හැකි ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රීඩාංගන පහක්වත් රට තුළ පැවතිය යුතු බවත් ක‍්‍රිකට් ආයතනය සඳහන් කර තිබේ.

එවැනි ජාත්‍යන්තර තරගාවලි සංවිධාන කිරීම හරහා රටට විශාල වශයෙන් මුදල් ගලා ඒමටද මග පෑදෙන බව පවසා ඇති ඔවුන් 2023  වසරේ සිට  2031 වසර දක්වා කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධාන කරන ප‍්‍රධාන තරගාවලි ද්විත්වයකට සත්කාරකත්වය දැරීමට සදහා ශ‍්‍රී ලංකාව සූදානමින් සිටින බවද වැඩිදුර පැහැදිලි කර තිබේ.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ව්‍යාපෘතියේ මෙහෙයුම් සහ එහි මූල්‍ය ශක්‍යතාවය පිළිබද සවිස්තරාත්මක අධ්‍යනයක් සිදු කිරීමෙන් අනතුරුව මේ සදහා ආයෝජනය ඉදිරියට සිදු කරන්නේ කෙසේ දැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කරනු ඇති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
කෙසේ වෙතත් එයට රජයේ සම්බන්ධයක් නැති නම්  ඇමති බන්දුල ගුණවර්ධන එහි කටයුතු වලට සම්බන්ධ වූයේ කෙසේද යන්න ගැන ක්‍රිකට් ආයතන නිවේදනයේ සඳහන් කර නැති අතර ගැටලුවක් ඉතිරි කර තබා ඇත.