
අනුරාධපුර පුද බිමට පැමිණි ජනාධිපතිතුමා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
රුවන්වැලි මහා සෑ රදුන් අබියස අද උදෑසන පැවති කිරි අහාර පූජාවට ද එක් වූ ජනාධිපතිතුමා ආගමික වතාවත්හි ද නිරත වෙමින් රටටත්, ජනතාවටත් සෙත් පැතිය. සෑ රදුන් අබියස විශේෂ සෙත් පිරිත් සජ්ජායනාවක් ද සිදු කෙරිණ.
මිරිසවැටිය රාජමහා විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා විහාරාධිකාරී ඊතලවැටුණුවැවේ ඥාණතිලක නායක ස්වාමින් වහන්සේ බැහැ දුටුවේය.
කොරෝනා මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව රාජපක්ෂ මැතිතුමා උන්වහන්සේ දැනුවත් කළේය. එම වැඩපිළිවෙළට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කරන බව මිරිසවැටිය විහාරාධිකාරී හිමියෝ සඳහන් කළහ.
අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය වෙත ගිය ජනාධිපතිතුමා විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
[May03, 2020 - Gossiplankanews.com]









