කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී 2020 මැයි මස 03 වන දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී  ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දැක්වූ අදහස් මෙසේය.
'කොවිඩ් - 19 හේතුවෙන් අවදානම් කලාප ලෙස හුදකලා කර තිබු කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රදේශයේ, පන්නිල හා චීනකොරටුව සහ
මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රදේශයට පනවා තිබු හුදකලා

බවින් ඉවත් කරන ලද අතර, එම ප්‍රදේශ අද (03) දින සිට අනෙකුත් ප්‍රදේශ මෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වනු ලබයි. ලන්ඩන් (London) සිට ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් සිසුන් සහ රාජ්‍ය සේවකයින් ඇතුළුව පුද්ගලයින් 207 දෙනෙකු අද (03) දින මධ්‍යම රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

එසේ පැමිණෙන ඔවුන් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකිරීමට මේවන විට සියළු කටයුතු සූදානම් කර ඇත.
ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වන දම්මින්න වෙතින් පුද්ගලයින් 09 දෙනෙකු හා වැලිකන්ද රෝහල වෙතින් 02 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 11 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර අද (03) දින තම නිවෙස් වෙත පිටත් කරන ලදී. අද (3) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 4917 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන්වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

මේවන විට නාවික හමුදාවේ වෛරසය ආසාදිත වූ වීරෝධාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ ඔවුන් සමීපව ඇසුරු කරනු ලැබු පුද්ගලයින් 1023 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත. ඒ අනුව ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 36 ක් තුළ පුද්ගලයින් 4635 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි.'
[May-03- gossiplankanews.com]