ළහැර, කන්තලේ යාය ප්‍රදේශයේදී නිවෙසට ආසන්නයේ තිබූ ජලය පිරුණු මැණික් පතලකට ඇද වැටී මියගිය එකම පවුලේ කුඩා දැරියන් දෙන්නාගේ මරණ පරික්ෂණයේදී ඔවුන් දෙදෙනාගේ මව වන බුලුවල දේවයලාගේ නිශාන්ති චන්දිමා  වීරසිංහ (35) මහත්මිය සාක්කි දෙමින් මෙසේ කියා සිටියාය.
මේ මිය ගොස් සිටින්නේ මාගේ වැඩිමහල් දියණිය වන නෙතුලි සහ දෙවැනි දුව වන සිතුලි යන දෙදෙනායි. මේ දෙදෙනාට
බාල තව එක දුවෙක් සිටිනවා. එයාට වයස මාස 10 යි. මගේ සැමියා රැකියාව කරන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ කඩවත කදවුරේයි. සැමියා මාසයකට පමණ වතාවක් නිවාඩුවට ගෙදර එනවා. එසේ නිවාඩු ලබා පැමිණ ආපසු ගියේ මීට දින කිහිපයකට කලිනුයි.

මගේ සැමියාගේ අයියාගේ ගෙදර තිබෙන්නෙත් අපේ ගෙදරට ආසන්නයේයි. වැඩිමහල් දුවලා දෙන්නා මගේ සැමියාගේ අයියාගේ ගෙදරට දහවල් කාලයේ යනවා. ඒ වගේම අපි විජේ අක්කා කියලා හඳුන්වන ඒ අක්කලාගේ ගෙදරටත් යනවා. ඒ ගෙවල්වල අය මේ දරුවන් හොඳින් රැක බලා ගන්නවා.මේ සිද්ධිය වුණ දිනයේ දහවල් දුවලා දෙන්නා සැමියාගේ අයියාගේ ගෙදරට ගිහිල්ලා ගොඩක් වෙලා ගත කරලා සවස
ගෙදර ආවා. මගේ සැමියාගේ අයියාගේ බිරිඳ ඒ අක්කා දරුවන් ගෙදරට ගෙනැත් ඇරලවලයි ගියේ. චූටි දුව නැවත එහේ යන්න ඕන කියලා අඩන්න ගත්තා. එවිට ලොකු දුව කීවා නංගි අඬන්න එපා අපි විජේ ඇන්ටිලාගේ ගෙදර යමු තව ටිකකින් කියලා. එතකොට වේලාව සවස පහට විතර ඇති. ඊට පස්සේ ලොකු දුව කීවා නංගීත් එක්කලා විජේ ඇන්ටිලාගේ ගෙදරට ගිහින් එන්නම් කියලා. එහෙම කියලා දුවලා දෙන්නාම ගියා.

 මම දරුවන්ට රෑට කෑම දෙන්න කුස්සියේ  ඉඳි ආප්ප තැම්බුවා. ටික වේලාවක් එසේ  වැඩ කරමින් සිට පසුව දුවලා දෙන්නා ගෙදර ආවේ නැති හින්දා මම අල්ලපු ගෙදර අක්කාගෙන් ඇහුවා අක්කේ ඇයි දුවලා  දෙන්නා තවම ගෙදර ආවේ නැත්තේ කියලා. එවිට අක්කා කිව්වා නංගී දුවලා  දෙන්නා අද සවස මෙහේ ආවේ නෑ කියලා. මට හිතුණා අක්ක විහිළුවක් කරනවා  කියලා. මම කිව්වා අක්කා විහිළු කරන්න එපා කියලා. අනේ නංගී ඇත්තමයි  දුවලා ආවේ නෑ කියලා අක්කා කිව්වා. ඊට පස්සේ අපි කළබල වෙලා දුවලව හෙව්වා. අහල පහළ අයත් එතැනට රැස් වුණා. මේ වෙනවිට වේලාව රාත්‍රී හත හමාර විතරක් වෙලා. අඳුර වැටිලා තිබුණේ. විදුලි පන්දම් දල්වලා හැම තැනම සොයා බැලුවා. පසුව නිවෙස අසල මැණික් පතලේ වතුරේ, දුවලා දෙන්නා පාවෙමින් ඉන්නවා දැක්කා. වහාම දරුවන් වතුරෙන් ගොඩට අරගෙන බකමූණ රෝහලට රැගෙන ආවා. එහිදී වෛද්‍යවරුන් පරික්ෂා කරලා බලලා කිවා දරුවන් මිය ගිහිල්ලා කියලා. මේ මරණ ගැන මට කිසිම සැකයක් නෑ මැණික් ගැරිම සඳහා හාරා තිබු වතුර පිරුණු පතලට වැටී දියේ ගිලීමෙන් දරුවන් දෙදෙනා මියගියා කියලා විශ්වාස කරනවා.

 එම සිද්ධියෙන් මියගියේ ඇලහැර කන්තලේ යායේ මඩුගහයට හේනේගෙදර සිතුලි සිතත්මා බණ්ඩාර වයස අවුරුදු 06  මාස 8 සහ මඩුගහයට හේනේ ගෙදර  නෙතුලි නිසල්යා බණ්ඩාර අවුරුදු 03 යන දැරියන් දෙදෙනාය.‍ෙ
මියගිය දරුවගේ සීයා වන මඩුගහයට හේගෙදර ඇල්බට් (76) මහතාද මෙහිදී සාක්කි දුන්නේය..

පොළොන්නරුව මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය අධිකරණ නිලධාරි වෛද්‍ය ඩී.එල්. වෛද්‍යාරත්න මහතා මිය ගිය අයගේ මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අතර දියේ ගිලීම හේතුවෙන් මරණ සිදුව ඇති බවට නිගමනය කළේය.

ඉදිරිපත්වූ සාක්‍ෂි සහ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව අනුව ජලය පිරුණු මැණික් පතලට ඇද වැටී දියේ ගිලීම හේතුවෙන් මෙම මරණ සිදුවූ බවට මරණ පරීක්ෂකවරිය නිගමනය කළාය. බකමුණ පොලිසියේ කොස්තාපල් 67605 කුමාර මහතා මෙහි සාක්කි මෙහෙයැවීය.

(පොළොන්නරුව ක.ග.කරුණාරත්න)