ඉන්දියාවේ බටහිර බෙංගාලය ආශ්‍රිතව ඊයේ (20දා) පස්වරු 5.00ට පමණ අම්ෆාන් සුපිරි සුළි කුණාටුව ඇතුළු වී තිබුණේ දරුණු සුළං සහ දැඩි වර්ෂාවක්ද ඇති කරමිනි.  වර්ෂ 1999න් පසුව බෙංගාල බොක්ක ආශ්‍රිතව වාර්තා වූ පළමු වැනි සුපිරි සුළි කුණාටුව ලෙසද අම්ෆාන් සැලකෙයි. එක්සත් ජනපද ඒකාබද්ධ සුළි සුළං අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයට අනුව,
පැයට කිලෝමීටර් 160ක වේගයෙන් (පැයට සැතපුමී 100) සුළං ඇති කරමින් ගොඩබිම කරා පැමීණි අම්ෆාන්, ඒ වනවිට 2 වැනි කාණ්ඩයේ අත්ලාන්තික් සුළි කුණාටුවකට සමාන වී තිබුණි.
ආරම්භයේදී ඉන්දියාව-බංග්ලාදේශ දේශ සීමාව අවට කඩොලාන ප්‍රදේශයක් වන සුන්දර් බන්ස් ප්‍රදේශයකට පහරදුන් අම්ෆාන්, පසුව උතුරු බෙංගාල ප්‍රාන්තයේ කොල්කටා අගනගරය අසලින් රට තුළට ගමන් කර තිබුණේ දැඩි වර්ෂාපතනය සමග ගංවතුර හා නායයැම් අවදානම්ද ඇති කරමිනි.

ඉන්දියාවට හා බංග්ලාදේශයට COVID-19 වෛරසයේ දැඩි බලපෑමටද මුහුණදී ඇති මොහොතක, සමාජ දුරස්ථ ක්‍රියාමාර්ග ආරක්ෂා කරමින්, සුළි කුණාටුවෙන් ජනතාව බේරාගැනීම උභතෝකෝටිකයක් වූ බව දෙරටේම මාධ්‍ය වාර්තා කරයි. එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයට අනුව ඉන්දියාවේ මිලියන 33.6ක් සහ බංග්ලාදේශයේ මිලියන 8ක් පමණ ජනතාවක් වෙසෙන ගමන් මාර්ගයක
මෙම කුණාටුව ගමන් කරමින් තිබේ.

ඉන්දීය බලධාරීන් කියා සිටියේ මේ වනවිටත් සුළි කුණාටුව විසින් නායයැම් කිහිපයක්ම සිදුකර ඇති බවය. විශේෂයෙන්ම කටුමැටි නිවාස රැසක් සුළි කුණාටුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ විය හැකි අතර, දුරකථන හා විදුලි රැහැන් කඩා වැටීමෙන් සන්නිවේදන හා විදුලිය ඇනහිටීම්ද වාර්තා වී තිබුණි.
කෙසේ වෙතත් ඊයේ (20දා) සවස වනවිටත් සුළි කුණාටුව හේත්තුවෙන් සිදුවූ ජීවිත හානි වාර්තා වී නොතිබුණත්, මෙයින් සිදුවිය හැකි හානිය සුළුපටු නොවනු ඇති  බව  කාලගුණ අංශ පුරෝකථනය කර තිබුණි.