දිනෙන් දින මිනිසුන් අතින් සිදුවන පරිසර දූෂණය හේතුවෙන් ස්වභාවධර්මයට බොහෝ සෙයින් හානි සිදුව තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස අප අවට ජීවත්වූ සතුන් පවා අපෙන් දුරස් වී තිබේ. නමුත් මෙම කොරෝනා වෛරසය හේතුවෙන් පරිසර දූෂණය අවම මට්ටමක පවතින මෙවන් අවස්ථාවක විවිධ සත්ත්වයන් පිළිබඳව
පුවත් බොහෝමයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වනු දක්නට ලැබේ. එමිලි ඉස්ට්‍රේ විසින් ලේනුන් හට සාත්තු සප්පායම් කිරීමේ පුවතක් ද මෙසේ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ ප්‍රසිද්ධියට පත් වී තිබේ.

ලුසියානාහි එමිලි ඉස්ට්‍රේ පසුගිය මාර්තු මාසයේ සිට ලේනුන් රැකබලා ගත් බවත් ඇය මෙසේ ලේනෙකු බේරාගෙන එම සත්ත්වයාට විලියමිනා යන නම තැබූ බවත් එම පුවතෙහි සදහන්ව තිබුණි.  ගෙයි මිදුලේ විජලනය වී සිටි ළදරු ලේනා මෙසේ සොයා ගනිමින් එම සත්වයාට ප්‍රතිකාර කිරීමට ඇයගේ මවද ඇයට සහය දක්වා තිබේ. මෙම ලේනාට තිබුනේ එක් ඇසකි. එකැස් ලේනා ගැන ප්‍රචාරණයන් ඇතිවූයේ මින් පසුවය.

වනජීවී හා ධීවර දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා රජයේ වනජීවී ඒජන්සිය සහ ලේනුන් පුනරුත්ථාපනය කරන පුද්ගලයින් සම්බන්ධ කර ගැනීමට ඇය උත්සාහ කළ නමුත් කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව මොවුන් පවසා තිබුණි.

එමිලි ඉස්ට්‍රේ විසින් ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් නිර්මාණය කර මෙම එකැස් ලේනා සමග සිදුකරන ඇයගේ එදිනෙදා ක්‍රියාකාරකම් පිළිබඳ වීඩියෝ පට බෙදාහදා ගෙන තිබුණි. මෙම ගිණුම ඉක්මණින් අනුගාමිකයන් 1,600 කට වඩා බෙදා හදාගෙන තිබුණු නමුත් ළදරු ලේනෙකු රැකබලා ගැනීම වෙහෙසකර බව බොහෝ දෙනා පවසා තිබුණි .

කෙසේවුවද වනජීවී විද්‍යායතනය මෙන්ම වනජීවී හා ධීවර දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකාරක මෙලිසා කොලින්ස් පැවසා ඇත්තේ ඒජන්සිය හරහා බලපත්‍රයක් ලබා නොගෙන වනජීවීන් පුනරුත්ථාපනය කිරීම නීති විරෝධී බවයි. මෙම COVID-19 වසංගතය පැතිරෙන කාල පරාසය තුළ ඒජන්සිය තවමත් ක්‍රියාත්මක බවද කොලින්ස් පැවසා තිබේ. නමුත් ඇය ඉස්ට්‍රේ ගැන විශේෂයෙන් සඳහන් නොකළ අතර, බොහෝ විට හොඳ චේතනාවක් ඇති අය, අනවශ්‍ය ලෙස මැදිහත් වී තුවාල වී අනාථ වූ වනජීවීන් සුව කරන බව ඇය ප්‍රසිද්ධියේ පවසා තිබේ.

ඉස්ට්‍රේ කියා සිටියේ වන සතුන් ඇති කිරීමට තමා උත්සාහ නොකරන නමුත් මෙය විශේෂ අවස්ථාවක් ලෙස ඇයට හැඟුණු බවයි. නමුත් මෙසේ ඔවුන්ව රැකබලා ගැනීමට බොහෝ සේ ඉවසීම අවශ්‍ය බවද ඇය පෙන්වා දෙයි. කෙසේ වෙතත් මෙම නව කොරෝනා වසංගතය හමුවේ අසරණ භාවයට පත්ව ඇති වන සතුන් කෙරෙහි අවධානය යොමු කිරීම මෙවන් අවස්ථාවක  ඉතා වැදගත් වනු ඇත.

(රිෂ්මි ඉෂාරා)