කො‍රෝනා වෛරසය හේතුවෙන් මියගිය අය ගැන කළ නවතම අධ්‍යයනයකට අනුව මිය යෑමේ වැඩි අවදානම පවතන්නේ ආසියාතික හෝ කළු ජනවාර්ගික සම්භවයක් තිබෙන පුද්ගලයන්ට බව අනාවරණයවී තිබෙයි.
කොරෝනා වෛරසය ගැන මේ විට සිදු කර තිබෙන විශාලතම පරීක්ෂණය බව කියැවෙන මෙහිදී Covid-19 වැළඳීමෙන් මරණයට පත් වීමට වැඩි අවදානමක් තිබීමට
හේතු විය හැකි කරුණු පිළිබඳව ප්‍රබල සාක්ෂි සොයාගෙන තිබෙයි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සහ එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවා ශාඛා වෙනුවෙන් වැඩ කරන පිරිසිදුකම සහ ඖෂධ පිළිබඳ ලන්ඩන් විද්‍යාලය එක්සත් රාජධානියේ ජීවත් වන වැඩිහිටියන් මිලියන 17.4කගේ වෛද්‍ය වාර්තා අධ්‍යයනය කරන ලදි. එය එංගලන්තයේ ජනගහනයෙන් සියයට 40ක පමණ පිරිසකි. එම පරීක්ෂණ සිදු කරන ලද්දේ පෙබරවාරි 1 සිට අප්‍රියෙල් 25 දක්වාය.
එම පිරිස අතරින් 5683ක් ‍Covid-19 හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙන අතර

වයස සහ ස්ත්‍රී පුරුෂභාවය සැලකිල්ලට ගත් විට නිගමනය කළේ පුරුෂයන්ට සහ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට නව කො‍රෝනා වෛරස් රෝගයෙන් ජීවිතක්ෂයට පත් වීමේ වැඩි අවදානමක් පවතින බවය. එමෙන්ම සුදු ජාතිකයන් සමඟ සසඳා බලන විට කළු ජාතිකයන් හා ආසියානු සම්භවයක් ඇති පුද්ගලයන් මරණයට පත් වීමේ අවදානමද ඉහළය.

දියවැඩියාව හෝ හෘද රෝග බොහෝ පුද්ගලයන්ට වැළඳී තිබීම කොරෝනා හේතුවෙන් වැඩි මරණ අවදානමක් පැවතීමට හේතු විය හැකිය. එමෙන්ම ප්‍රමාණවත් සෞඛ්‍ය සේවා ලබාගත නොහැකි පුද්ගලයන් සහ ආර්ථික ගැටලුවලින් පීඩා විඳින පුද්ගලයන්ටද Covid-19 හේතුවෙන් මරණයට පත් වීමේ වැඩි අවදානමක් පවතියි. බරපතළ ලෙස ඇදුම තිබෙන රෝගීන්ටද වැඩි අවදානමක් ඇති බවට මෙම පරීක්ෂණයෙන් තහවුරු කර තිබෙන අතර මේ වන තෙක් Covid-19 හේතුවෙන් මරණයට පත් වීමේ අවදානම ඇති කරන හේතු හඳුනාගැනීමට කර තිබෙන විශාලතම පරීක්ෂණය මෙය බව සමීක්ෂකයෝ පවසති.

“මෙම වසංගත තත්ත්වය පාලනය කිරීමට සහ රෝගීන් රැකබලා ගත යුතු ආකාරය තවත් දියුණු කිරීමට නම් වැඩි අවදානමක් තිබෙන රෝගීන් පිළිබඳව අතිශයින් නිවැරදි දත්ත අපට අවශ්‍යය” කියා මෙම සමීක්ෂණයට අදාළ වාර්තාකරු සහ NHS වෛද්‍ය ලයම් ස්මීත් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් නිකුත් කළ ප්‍රකාශයක සඳහන් කරන ලදි. නමුත් සිදු කළ අධ්‍යයනයේ යම් සීමා තිබෙන බවද තේරුම්ගත යුතුය. රෝහල් මගින් ලබා දුන් තොරතුරුවල නිවැරදිභාවය අප මෙම පරීක්ෂණයට යොදාගත් දත්තවලට අතිශයින් බලපාන කරුණකි. එමෙන්ම Covid-19 ‍හේතුවෙන් මරණයට පත් වුවද

පරීක්ෂණවලින් ඒ බව හෙළි වී නොමැති හෝ රෝගය වරදවා වටහාගත් පුද්ගලයෝද වෙති.

 ඉන් පෙනී යන්නේ ගණන් බලා තිබෙන කොරෝනා මුළු මරණ ගණන සම්පූර්ණයෙන්ම නිවැරදි නොවන බවය. මෙම පරීක්ෂණය සිදු කර තිබෙන්නේ රෝහල් තුළ මිය යන පුද්ගලයන් ඇසුරින් වන අතර ආසාදනය වීමට එක් එක් පුද්ගලයාට තිබෙන අවදානම සහ ආසාදනය වූ පසු ඔවුන් තුළ තිබෙන මිය යෑමේ අවදානම යන කරුණු දෙක පිළිබඳව අවධානය යොමු කරන ලදි.

නමුත් කළු ජාතිකයන්ට සහ ආසියානු සම්භවයක් ඇති පුද්ගලයන්ට Covid-19 හේතුවෙන් මිය යෑමේ වැඩි අවදානමක් පවතින්නේ ඇයි කියා සොයා බැලීමට වැඩිදුරටත් පරීක්ෂණ සිදු කළ යුතු බව සමීක්ෂකයන්ගේ අදහසය.
එක්සත් රාජධානිය සතුව තිබෙන දත්ත භාවිතයට ගනිමින් Covid-19 ව්‍යාප්තිය පාලනය කළ හැකි ආකාර පිළිබඳව වැඩිදුර අධ්‍යයන සිදු කිරීමට ඔවුහූ බලාපොරොත්තු වෙති. එහි අරමුණ වන්නේ සෞඛ්‍ය සේවා අවශ්‍යතා පිළිබඳව දැනුවත් කිරීම සහ අගුළු ඇරීමේදී ආරක්ෂාකාරී විය හැකි අයුරු පිළිබඳව දැනුවත් කිරීමය.
එස්. දහනායක
(iflscience ඇසුරිනි)