මාස නවයක් පමණ මී පැණි සොරකම් කළ පැපිලන් නමැති වලසෙකු අල්ලා ගැනීමට ඉතාලියේ ගොවීන් පිරිසකට හැකියාව ලැබී තිබේ. නමුත් එම සත්වයා අල්ලාගැනීමෙන් පසු සිරගත කර තිබීම සත්ත්ව හිංසනයක් බව  මේ වනවිට ගැටලුවක්ව ඇත.



මෙම දුඹුරු වලසා හේතුවෙන් ජනතාවට බොහෝ කරදරවලට පත් වීමට සිදු වූ බව ගොවීහු පෙන්වා දෙති. ඉතාලියේ සත්ව විශේෂඥයින් බොහෝ දෙනෙක් මෙම සත්ත්වයා කෙරෙහි තම අවධානය යොමු කර ඇති අතර කලාපය පුරා ඇති මී වදයන් හට හානි කිරීම, එළදෙනුන් රංචුවකට පහර දීම, බැටළුවන් ඇල්ලීම, බල්ලන් ආදී සතුන් බිය ගැන්වීම වැනි බොහෝ ක්‍රියාකාරකම් රැසක් මෙම වලසා විසින් සිදුකර ඇතැයි වාර්තා විය.ඉතාලි ඇල්ප්ස් කඳුකරයේ වෙසෙන බූරුවන් හා බැටළුවන්ට මුගෙන් හානි සිදුව ඇත.

නමුත් මෙම වලසා සිරගත කොට තැබීමට කටයුතු කිරීම සත්ත්ව සුබසාධන කණ්ඩායම් අතර ව්‍යාකූලත්වයක් ඇති කර තිබේ. වලසා මීපැණි විනාශ කිරිම හිතාමතා සිදුකරන ලද්දක් නොවන බවත් එය එම සත්ත්වයාගේ දිවි රැක ගැනීම වෙනුවෙන්  සිදුකළ ක්‍රියාවක් බවත් පෙන්වා දී ඇති මෙම සංවිධාන මෙසේ දැඩි දඬුවම් ලබාදීම කිසිසේත් අනුමත කළ නොහැකි බව පෙන්වා දී තිබේ. එමෙන්ම පැපිලන් නිදහස් කර ගැනීම වෙනුවෙන් පළාත් පාලන ආයතනයට එරෙහිව නඩු පවරන බවද ඉතාලි සත්ත්ව සුභසාධන කණ්ඩායමක් වන LAV පවසයි.

කිසිවිටෙකත් මිනිසාට තර්ජනයක් නොවූ මෙම සත්ත්වයාට දැන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලැබෙනු ඇතැයි LAV ප්‍රකාශකයෙකු ඉතා කණගාටුවෙන් දන්වා තිබේ. නමුත් මෙම සත්වයාට අනුවර්තනය වීම සම්බන්ධයෙන් සුවිශේෂී දක්ෂතාවයක් පවතින බව ඔහු පෙන්වා දී ඇත්තේ එම සත්ත්වයාව මෙසේ සිරකර තැබීම නුසුදුසු බව පසක් කරමිනි.

මෙම වලසාට ජීවත් වීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කර දිය හැකි දැයි යන්න පිළිබඳව පරිසර අමාත්‍ය සර්ජියෝ කොස්ටා තම අවධානය යොමු කර තිබේ. යුරෝපයේ ජාතික උද්‍යානවලින්ද ඔහු ඒ සම්බන්ධයෙන් ඉල්ලීම්ද කර ඇත. 1990 දශකයේ අග භාගයේදී දුඹුරු වලසුන් ඉතාලියට හඳුන්වා දී ඇති නමුත් මේ වන විට ඔවුන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බව වාර්තා වේ.

රිෂ්මි ඉෂාරා