කොරෝනා හේතුවෙන් විශාල බලපෑමක් ඇති කර තිබෙන කර්මාන්තයක් වන්නේ පොත් පත් ප්‍රකාශන කර්මාන්තයය. ආදායමක් නොමැතිව පොත් සාප්පු, ප්‍රකාශන මධ්‍යස්ථාන සහ මුද්‍රණාල පවත්වාගැනීම පොත් ප්‍රකාශකයන්ට අපහසු කාර්යයක් බවට පත් වී තිබේ. කොහොමනමුත් මෙම ගැටලුවට පිළියමක් ලෙස ජාත්‍යන්තර පොත් ප්‍රකාශකයෝ e පොත් (අන්තර්ජාලය ඔස්සේ කියවිය හැකි පොත්) සහ ඩිජිටල් ඕඩියෝ පොත් (අන්තර්ජාලය හරහා සවන් දිය හැකි පටිගත කළ පොත්) නිපදවීම කෙරෙහි
අවධානය යොමු කර තිබේ. ශ්‍රී ලාංකික පොත් ප්‍රකාශකයෝ මෙම නව අභියෝගයට මුහුණ දීමට බලාපොරොත්තු වන්නේ කෙසේද? ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ගෙන තිබෙන මුල් පියවර මොනවාද?  පවතින වාතාවරණය පිළිබඳව පොත් ප්‍රකාශකයන් කිහිපදෙනෙකුගේ මත අපි විමසා බැලීමු.


පොත් සාප්පුවල පොත් ගොඩගැහිලා - අතුල ජයකොඩි

කොරෝනා වෛරස් වසංගතය ශ්‍රී ලංකාව තුළ පොත් ප්‍රකාශයට පත් කිරීමේ ක්ෂේත්‍රයට අයහපත් ලෙස බලපෑම් ඇති කර තිබෙන බව ශ්‍රී ලංකික පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ සූරිය ප්‍රකාශනවල ප්‍රකාශක අතුල ජයකොඩි මහතා පැවසීය. “පොත් ප්‍රකාශ කිරීමේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය අප ආනයනය කරන්නේ විදේශ රටවලින්. අමුද්‍රව්‍ය නොමැති වීම මෙම ක්ෂේත්‍රයට විශාල පාඩුවකි. පවතින වාතාවරණය යටතේ පොත් මගින් කිසිම ආදායමක් ලැබෙන්නේ නැත. ප්‍රකාශකයන්ගේ වැටුපෙන් සියයට 15ක් EPF සහ ETF වෙනුවෙන් කැපෙන අතර එතරම් වැටුප් අහිමි වීමක් පොත් ප්‍රකාශකයන්ට දරාගත නොහැකි නිසා EPF සහ ETF සඳහා කපාගැනීම තාවකාලිකව නතර කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටින්නෙමු”  ඔහු සඳහන් කළේය.
“තත්වයන් වෙනස් වෙමින් පවතින නිසා ඉදිරියේදී මෙම ක්ෂේත්‍රයේ කුමන තත්වයක් උදා වේවිද කියා ස්ථිරවම පැවසිය නොහැකිය. මෙම තත්වය දිගටම පැවතුණොත් ඉදිරි සැප්තැම්බර් මාසයේදී BMICHහිදී පැවැත්වීමට නියමිත ජාත්‍යයන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්විය හැකි වේද යන්න පවා අවිනිශ්චිතය. නමුත් වසංගතය හේතුවෙන් කඩදාසි රෝල්වල සහ තීන්තවල මිල ඉහළ යෑම නිසා පොත් පත්වල මිලද ඉහළ දැමීමට අපට සිදු වේ. කර්තෘ අයිතිය වෙනුවෙන් ගෙවන මුදල ගෙවීමටද අපට නොහැකිය. පොත් සාප්පුවල පොත් පත් නොවිකිණී ඉතිරි වීම නිසා වැඩකරුවන්ට වැටුප් ගෙවීම ඊට වඩා විශාල ගැටලුවක් බවට පත් වී තිබේ”  ජයකොඩි මහතා තවදුරටත් පැවසීය.

e-පොත් එතරම් ජනප්‍රිය නැහැ - විජිත යාපා

Covid-19 වසංගතය හේතුවෙන් පොත් නිෂ්පාදන කර්මාන්තය බිඳ වැටී ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සහ විජිත යාපා ප්‍රකාශනවල කළමනාකාර අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන විජිත යාපා මහතා පැවසීය.
“අපට පොත් විකිණීමට විදිහක් නැහැ. ඔන්ලයින් ඉල්ලුම් සඳහා පොත් බෙදාහරින ක්‍රමවේදයක් ආරම්භ කිරීමට අප උත්සාහ කළද මෙය අත්‍යවශ්‍ය සේවාවක් නොවන බැවින අපට එම අවසරය ලබාගත නොහැකි විය”  ඔහු පැවසීය.
“අපගේ වෙළඳසැල් තුළ පොත් පත් තොග එකතු වීම තිබීම අප මුහුණපාන විශාලතම ගැටලුවය. මාර්තු - අප්‍රියෙල් උත්සව කාලය නිසා අප වෙනත් පොත් ප්‍රකාශකයන්ගෙන් පවා පොත් තොග මිලට ගෙන තිබේ. නමුත් පොත් පත් කර්මාන්තය සහමුලින්ම ඇණහිට තිබේ.”
“e-පොත් සකස් කිරීමේ ක්‍රමවේදය තරමක් අපහසුය. Amazon යනු මෙම ක්‍රමවේදය සඳහා තරමක ආධිපත්‍යයක් දරන සමාගමකි. e-පොත් ක්‍රමවේදය තවමත් ශ්‍රී ලංකාව තුළ වර්ධනය වෙමින් පවතියි”  යාපා මහතා අදහස් දැක්වීය.
“නිවසේ සිට පොත් පත් විකිණිය නොහැකි බැවින් නිවසේ සිට රාජකාරියේ යෙදීමේ ක්‍රමවේදය පොත් පත් කර්මාන්තයේදී ප්‍රායෝගික නොවේ. අන්තර්ජාලය හරහා ඇණවුම් රැසක් අප වෙත ලැබී තිබෙන නමුත් එම ඇණවුම්වලට පොත් බෙදා දීමේ ගැටලුවක් මතු වී තිබේ.”
“මුලින්ම පොත් වෙළඳසැල්වල සහ ප්‍රකාශක කාර්යාලවල සේවය කරන පුද්ගලයන්ව අප විසින් රැකබලා ගත යුතු වේ. පොත් සාප්පුවලට පොත් පත් සැපයූ පුද්ගලයින් අපෙන් මුදල් ඉල්ලා සිටියද ඒවා නොවිකිණී සාප්පුවල එක්රැස් වී තිබෙන බැවින් ඔවුන්ට ගෙවීම සඳහා අපට මුදල් නැත”  යාපා මහතා තවදුරටත් සඳහන් කළේය.


“නව ඇරඹුමක් අවශ්‍යයි” - ප්‍රේම් දිසානායක

රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන නිසා Covid-19 වසංගතය හේතුවෙන් ප්‍රකාශන කර්මාන්තයට සිදු කර තිබෙන බලපෑම විස්තර වශයෙන් දැක්වීම අපහසු බව සුසර ප්‍රකාශකයන්ගේ කළමනාකාර අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන ප්‍රේම් දිසානායක මහතා සඳහන් කළේය.

“e-පොත් සැපයීමේ සිට පොත් පත් මහජනයාට ඉදිරිපත් කිරීම දක්වා විවිධ ව්‍යාපෘති පිළිබඳව අප සිතා ඇති නමුත් මුල්ම පියවර වන්නේ එදිනෙදා ජීවිතය සාමාන්‍ය අතට පත් කර ගැනීමය. නමුත් වසංගතයට පෙර පැවති ලෙසම මෙය ආරම්භ කළ නොහැකිය. අප විසින් නැවුම් ඇරඹුමක් ලබා දිය යුතුය. ව්‍යාපාර සහ ජීවිතය අපට සදහටම අගුළු දැමිය නොහැකි බැවින් මින් ඉදිරියට අපට ජීවත් වීමට සිදු වන්නේ Covid-19 වසංගතය මධ්‍යයේය. 1930 ගණන්වල මැලේරියා වසංගතය ව්‍යාප්ත වී ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත 30,000ක් බිලිගත් කාලයේදීද මෙවැනි වියවුලකට මුහුණ දීමට අපට සිදු විය. එතරම් අයහපත් වාතාරණයක් මධ්‍යයේ පවා ජීවිතය ක්‍රියාකාරීව පවත්වාගැනීමට හැකි වූයේ නම් මෙම වසංගත තත්වය යටතේදීද එසේ කළ හැකිය.”
පොත් පත් විකිණීමට ක්‍රමවේදයක් නොමැති හෙයින් පොත් පත්වල මිල පහත වැටිය හැකි බව ඔහු අදහස් දැක්වීය.

පොත් පත් විකිණීම විශාල ගැටලුවක් වී තිබෙනවා - එච්. ඩී. ප්‍රේමසිරි

සරසවි පොත් ප්‍රකාශකයන්ගේ කළමනාකාර අධ්‍යක්ෂක එච්. ඩී. ප්‍රේමසිරි මහතා පැවසුවේ Covid-19 වසංගතය හේතුවෙන් පොත් ප්‍රකාශන කර්මාන්තය විශාල ගැටලුවකට මුහුණ පා තිබෙන බවය.
“මූලිකම ගැටලුව වන්නේ පොත් විකුණන්නේ කෙසේද යන්නය. විකිණීමකින් තොරව ආදායමක් ඉපයිය නොහැකිය. ආදායමක් නොමැතිය අපගේ සේවකයන්ගේ වැටුප් ගෙවන්නේ කෙසේද යන ගැටලුව මතු වී තිබේ. අපගේ පාඨකයන්ට පොත් පත් බෙදා දීමේ ව්‍යාපෘතියක් අප විසින් හඳුනාගෙන තිබුණද ඇඳිරි නීතිය යටතේ අපට කිසිවක් සිදු කළ නොහැකිය.”
“හෙට සිට ඇඳිරි නීතිය ඉවත් කළද ඉක්මනින් සියල්ල සාමාන්‍ය අතට හැරේවි කියා අපට බලාපොරොත්තු විය නොහැකිය. තම ව්‍යාපාර කටයුතු දිගටම කරගෙන යෑමට පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් එහි සාමාජිකයන්ට රුපියල් 50,000ක පොලී රහිත ණයක් ලබාගැනීමට අවස්ථාව ලබා දී තිබේ. බැංකු මගින්ද සියයට 4ක පොලියට ණය ලබාගැනීම අවස්ථාව දී තිබේ. වැටුප් ගෙවීමට සහ මෙම ක්ෂේත්‍රයේ අනෙකුත් ගැටලු විසඳීමට මෙම පියවර උපකාරවත් වේවි.”
“අලුත් අභියෝගයට මුහුණ දීම සඳහා e-පොත් සැකසීමේ ව්‍යාපෘතියක් අප විසින් සැලසුම් කර තිබේ. නමුත් මෙය සිදු කිරීමේ දුෂ්කරතා තිබේ. විශේෂයෙන්ම e-පොත් කියවීම මිනිසුන්ට හුරුපුරුදු ක්‍රමයක් නොවේ. e-පොත් මගින් ලාභයක් ලබාගැනීමද දුෂ්කර කාර්යයකි. ප්‍රකාශන හිමිකම් පිළිබඳ ගැටලුද මතු වේ. කොහොමවුණත් කොරෝනා වෛරස් වසංගතය නිසා මිනිසුන් අන්තර්ජාලය හරහා පුවත්පත් කියවීමට සහ e-පොත් කියවීමට ආරම්භ කර තිබේ”  ඔහු පැවසීය.
“අපගේ ප්‍රධානතම සම්පත වන්නේ පාඨකයෝය. එමනිසා වසංගතය හේතුවෙන් පොත් පත්වල මිල ඉහළ දැමිය නොහැකිය”  ප්‍රේමසිරි මහතා තවදුරටත් අදහස් දැක්වීය.

වසංගතය අතරතුර පොත් පත් විකිණී නැහැ - කාන්චනා ප්‍රියාකාන්ත

K. books යනු Amazon වැනි ඔන්ලයින් පොත් වෙළඳසැලක් බව එහි උපනිර්මාතෘ කාන්චනා ප්‍රියාකාන්ත පැවසීය.
“සාමාන්‍යයෙන් අපට නිතරම පොත් පත් ඇණවුම් ලැබුණද වසංගතය ආරම්භ වීමෙන් පසුව කිසිම පොතක් අපට ප්‍රවාහනය කළ නොහැකි විය.”
“අප මෙම ක්ෂේත්‍රයට අලුතින් ඇතුළු වූ පුද්ගලයන් වුවද ප්‍රකාශකයන්ගෙන් ලබාගත් ඔන්ලයින් පොත් 9000කට අධික ප්‍රමාණයක් අප සතුව තිබේ. වසංගතයට පෙර අප සෑම දිනකම අපේ ගැනුම්කරුවන්ට පොත් පත් ඇසුරුම් 100කට වැඩි ප්‍රමාණයක් බෙදාහැර තිබුණද දැන් එසේ නොවේ. අපගේ ඔන්ලයින් පොත් සාප්පුවට පොත් ගෙන ඒමට අපට නොහැකි වී තිබේ. විශාල ආර්ථිකමය පාඩුවකට අප මුහුණ දෙමින් පවතී”  ඇය අදහස් දැක්වුවාය.

පොත් පත් ආනයනයට විශාල බාධාවක් - රන්ජිත් සමරනායක

Expographic books හි කළමණාකාර අධ්‍යක්ෂක රන්ජිත් සමරනායක මහතා ප්‍රකාශ කළේ Covid-19 හේතුවෙන් පොත් පත් ආනයනය කිරීම නතර වී තිබෙන බවය. ඔන්ලයින් බෙදාහැරීමක් ක්‍රමවේදයක් Expographic සතුය. නමුත් ඇඳිරි නීතිය අතරතුර පොත් පත් බෙදාහරින්නේ කෙසේද කියා ගැටලුවක් මතු වී තිබෙන බව ඔහු පැවසීය.
“e-පොත් සඳහා ඉල්ලුමක් තිබේ නම් අප ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතුය. නිවසේ රැඳී සිටින පුද්ගලයන් වෙනුවෙන් ඔ්ඩියෝ පොත් පත් ලබා දීමද කළ හැකිය.”
“බොහෝ කලකට අපට මහජන ඒකරාශී වීම් සිදු කළ නොහැකි බැවින් BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පවත්වන ආකාරයද වෙනස් විය හැකිය”  ඔහු තවදුරටත් අදහස් දැක්වීය.

(රවීන්ද්‍ර විජේවර්ධන Sunday Observer වෙත සැපයූ ලිපියක් ඇසුරිනි)
එස්. දහනායක
[May22, 2020 - Gossiplankanews.com]