සංගතය අතරතුර මීටරයක් දුරින් සිටින්න, මුහුණු ආවරණ පළඳින්න ආදී වශයෙන් විවිධ නීති පැවතියත් බොහෝ කාර්යාලවල පවතින්නේ පොදු වැසිකිලිය. වසංගතය අතරවාරයේ පොදු වැසිකිළි භාවිත කිරීම පිළිබඳව විවිධ මත තිබේ.
මේ වනවිට ආර්ථිකය නඟා සිටුවීම සඳහා විවිධ රටවල් අමතර අංශද විවෘත කරමින් පවතින බැවින්
බොහෝ ජනයා වැඩි කාලයක් ගත කරන්නේ තම නිවෙස්වලින් පිටතය. පාක් එකක, කාර්යාලයේ සහ හෝටලයක තිබෙන පොදු වැසිකිළියක් භාවිත කරනවා හැරෙන්නට වෙන කරන්නට කිසිවක් නොමැති තත්වයකට ඔවුහු මුහුණ පාති. කවුරු කෙසේ කීවද වැසිකිළියක් භාවිත කිරීමේ අවශ්‍යතාවයක් පැනනැගුණු විට ඉන් වැළකී සිටීම කළ නොහැකි දෙයක්ය.

නමුත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අතරතුර පොදු වැසිකිළි භාවිත කිරීම ගැන පැවසිය හැක්කේ කුමක්ද?මේ සම්බන්ධයෙන් විශේෂඥයන් දැක්වූ අදහස් කිහිපයක්  පිළිබඳ විමසා බලමු.

මෙහිදී අනුගමනය කළ යුතු මූලික පියවර වන්නේ වැසිකිළිය භාවිත කිරීමෙන් අනතුරුව ඔබේ දෑත් සෝදාගැනීමයි. නමුත් පොදු වැසිකිළි භාවිත කිරීම මගින් Covid-19 ආසාදනය වීමේ අවදානම ඇතැම්විට අඩුය. ආසාදිත මතුපිටවල් ස්පර්ශ කිරීම මගින් වෛරසය සම්ප්‍රේෂණය වීමට ඉඩ තිබුණද රෝග පාලනය සහ වැළැක්වීම පිළිබඳ ආයතනවලට අනුව බොහෝවිට වෛසරය සම්ප්‍රේශණය වන්නේ ශ්වසන මාර්ගය ආශ්‍රිත බිඳිති මගින්ය.
“කොරෝනා වෛරසය ලොව පුරා පැතිර යන්නේ පොදු වැසිකිළි මගින් නොවේ. මිනිසුන්ට වෛරසය ආසාදනය වී ලොව පුරා මෙතරම් විනාශයක් සිදු වන්නේ පොදු වැසිකිළි හේතුවෙන් නොවේ” වසංගත රෝග විද්‍යාඥයෙක් සහ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ ජෝන්ස් හොප්කින්ස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වෛද්‍ය අමේෂ් අදල්ජා ප්‍රකාශ කළේය. මෙවැනි අවස්ථාවක වුවද පොදු වැසිකිළියක් භාවිත කිරීමට තමා පසුබට නොවන නමුත් වසංගතය අතරතුර අනෙකුත් ක්‍රියාකාරකම්වල හවුල් වීමේදී තිබෙනවා හා සමාන අනතුරක් පොදු වැසිකිළි භාවිත කිරීමේදීද පවතින බව ඔහු තවදුරටත් පැවසීය.
ඔබ නිවසෙන් පිට වීමට පෙර නිවසේ වැසිකිළිය භාවිත කිරීම වඩාත් හොඳය. නමුත් ඔබ පිටත සිටින විට ඔබට වැසිකිළිය භාවිත කිරීමට අවශ්‍ය වුවොත් Covid-19 හෝ වෙනත් ඕනෑම බෝ වන රෝගයක් ඔබට සම්ප්‍රේෂණය වීම වැළැක්වීමට ඔබට කළ හැකි දේ තිබේ.

“කොටින්ම කියනවා නම් වසංගතය අතරතුර පොදු වැසිකිළි තුළට යෑම ජීව අවි නිපදවන කර්මාන්තශාලාවකට ඇතුල් වෙනවා වැනිය. එය ඉතාමත් අනාරක්ෂිත පියවරක් වන අතර ඔබට කළ හැකි එකම දෙය වන්නේ අනතුර අවම කරගැනීමට පියවර ගැනීම පමණය” Mayo Clinicහි ඖෂධ සහ වසංගත රෝග පිළිබඳ මහාචාර්ය වෛද්‍ය ග්‍රෙග් පෝලන්ඩ් පවසයි.
වෙනත් පොදු ස්ථානයක සිටින විටදී වගේම ප‍ොදු වැසිකිළියක් තුළදීද එහි ඇති දෑ සහ මතුපිටවල් ස්පර්ශ කිරීම හැකි තාක් සීමා කළ යුතුය. තත්පර 20ක් පුරා දෑත් සබන් ගා සේදිය යුතුය. කරාම විවෘත කිරීමට හා වැසීමට සහ දොර විවෘත කිරීමට කඩදාසි තුවායක් (paper towel) භාවිත කිරීම යෝග්‍ය බවත් බොහෝවිට එම මතුපිටවල් මත අසූචිවල වර්ධනය වන බැක්ටීරියා දක්නට ලැබෙන බවත් පෝලන්ඩ් අදහස් දැක්වීය.
පොදු වැසිකිළිවල ඇතැම්විට අත් සේදීමේ දියර අවසන් වී තිබිය හැකි නිසා පොදු වැසිකිළියක් භාවිත කිරීමට යෑමේදී තමා ළඟ දෑත් පිරිසිදුකාරකයක් (Hand Sanitizer) තබාගැනීම නුවණට හුරු බව ක්ෂූද්‍රජීවී විද්‍යාව පිළිබඳ ඇමරිකානු සංගමයේ සභාපති රොබින් පටෙල් සඳහන් කරන ලදි. ඇතුළට යෑමට පෙර පොදු වැසිකිළිය තුළ සිටින පුද්ගලයන් පිටතට පැමිණෙන තුරු රැඳී සිටින ලෙසද ඇතුළත තවත් පුද්ගලයන් සිටී නම් ඔවුන් සමඟ අඩුම තරමින් අඩි 6කවත් පරතරයක් පවත්වාගන්නා ලෙසද ඇය යෝජනා කරයි.

භාවිතයට පෙර වැසිකිළි පෝච්චිය මත එළිම සඳහා ඉවත දැමිය හැකි කඩදාසි ආසන කවර භාවිත කිරීම පිළිබඳව කුමක් පැවසිය හැකිද? සෑම වැසිකිළියකම එවැනි පහසුකම් නොතිබෙන අතර ඇතැම් වැසිකිළිවල ඒවා ලබාගත හැකි වුවද ඉක්මනින්ම ඒවා අවසන් වේ. මෙවැනි වසංගත තත්ත්වයක් යටතේ එවැනි ආසන කවර භාවිත කළ යුතුද කියා යොමු කරන ලද ප්‍රශ්නයට බොහෝ ප්‍රවීණයන් පිළිතුරු දුන්නේ එසේ අවශ්‍ය නොවන බවය. මන්දයත් නව කොරෝනා වෛරසය යනු ශ්වසන මාර්ගය ආශ්‍රිතව සම්ප්‍රේශණය වන රෝගයක් වන අතර එය චර්ම සම්ප්‍රේශණ රෝගයක් නොවේ.

කොරෝනා වෛරසය සම්ප්‍රේශණය වන්නේ මුඛය, නාසය සහ ඇස් මගින්ය. ක්ෂූද්‍රජීවීන් පිළිබඳ විද්‍යාඥවරියක් වන රෝසි රෙඩ්ෆීල්ඩ් සඳහන් කළේ වැසිකිළි පෝච්චියේ ආසන කවරය මගින් කොරෝනා වෛරසය ආසාදනය වීම ඉතාමත් දුර්ලභ බවය. “එවැනි සම්ප්‍රේශණයක් සිදු වීමට නම් වෛරස අංශු ආසාදිත පුද්ගලයාගේ පසුපස ප්‍රදේශයේ තැවරිය යුතු අතර ඉන්පසුව ඒවා සමෙන් වැසිකිළි පෝච්චියේ ආවරණය මතට ගමන් කළ යුතුයි. පසුව එම වැසිකිළි පෝච්චිය භාවිත කරන පුද්ගලයන්ගේ පසුපස ප්‍රදේශයේ ඒවා තැවරී පසුව ඒවා දෑත් මත තැවරී දෑත් හරහා ඔබේ මුහුණට පැමිණිය යුතුයි. මෙවැනි කාරණයක් පිළිබඳව සිතා කරදර වෙනවා වෙනුවට ඔබට සිතීමට තවත් බොහෝ දේ තියෙනවා. ඔබ ආරක්ෂා වීමට ගත යුතු මූලික පියවරත් තිබෙනවා” ඇය තවදුරටත් ප්‍රකාශ කළාය. නමුත් එවැනි ඉවත දැමිය හැකි ආසන කවර භාවිත කිරීමේ හෝ වාඩි වීමට පෙර වැසිකිළි පෝච්චියේ ආවරණය කඩදාසියකින් පිරිසිදු කිරීමේ ගැටලුවක් නැති අතර ඒවා පොදු ආරක්ෂිත පියවර වේ.


කලින් සඳහන් කළ ආකාරයට වෛරසක් හෝ බැක්ටීරියාවක් ආසාදනය වීම වැළැක්විමට ඔබට කළ හැකි දෙයක් වන්නේ හැකි තාක් වැසිකිළියේ මතුපිටවල් ස්පර්ශ කිරීම සීමා කිරීමය. නමුත් වැසිකිළිය Flush කරන උපාංගය භාවිත කිරීම පිළිබඳව පැවසිය හැක්කේ කුමක්ද? ඇතැමුන් තම යටි පතුල භාවිත කරමින් වැසිකිළිය flush කරන බව පෝලන්ඩ් පවසයි. නමුත් එසේ කිරීමෙන් එම වැසිකිළි පොළවේ තිබී ඒ පුද්ගලයාගේ සපත්තුවේ තැවරී තිබිය හැකි බැක්ටීරියා, වෛරස අංශු සහ මුත්‍රා ආදිය එම උපාංගයේ තැවරෙන බවත් මීළඟට වැසිකිළිය භාවිත කරන තැනැත්තාට ඒවා ඇතුල් වන බවත් ඔහු පවසයි. තමා තවමත් flush කරන උපාංගය අතින් ස්පර්ශ කරන බව අදල්ජා පැවසුවද අනෙකුත් ප්‍රවීණයන් පැවසුවේ මතු වී තිබෙන ගැටලුවට පිළියමක් ලෙස ඔවුන් එය කඩදාසියක් (toilet paper) මගින් එය ස්පර්ශ කරන බවය.
Flush කිරීමේදී වැසිකිළි පෝච්චියේ පියන වසා එසේ කිරීමෙන් පිටතට විසි වන අංශු සීමා කළ හැකි බව මහාචාර්ය ජෙරාඩෝ චොවෙල් පවසයි. වැසිකිළිවල තිබෙන ස්වයංක්‍රීය අත් වියළීමේ යන්ත්‍ර මගින් අසූචි මත සිටින බැක්ටීරියා වාතයේ පැතිරීමට උර දිය හැකි නිසා වඩාත් හොඳ ක්‍රමය වන්නේ අත පිසදැමීමට කඩදාසි තුවායක් භාවිත කිරීමය. “ස්වයංක්‍රීය අත් වියළීමේ යන්ත්‍ර මගින් ඔබේ දෑත් මත තිබෙන ඕනෑම දෙයක් වැසිකිළිය පුරා විසිරුවාහැරිය හැකි වන අතර ඒවා ඔබේ මුහුණ මත පතිත වීමටද ඉඩ ඇත” පෝලන්ඩ් පවසයි.

මෑතකදී සිදු කළ අධ්‍යයන මගින් සොයාගෙන තිබෙන්නේ ආසාදිත පුද්ගලයන්ගේ මුත්‍රා සහ අසූචිවලද Covid-19 සඳහා හේතු වන වෛරසය තිබෙන බවය. නමුත් අසූචිවල වෛරසය අඩංගු වූ පමණින් ඒ හරහා වෙනත් පුද්ගලයෙකු ආසාදනය විය හැකිද කියා තවමත් හෙළි වී නොමැතිය.
වැසිකිළි සෞඛ්‍යාරක්ෂිතව තබාගැනීම සඳහා ඒවා නිතරම විවෘතව තැබීමටත් නිතිපතා පිරිසිදු කර පවත්වාගැනීමටත් ඒවා අයත් ආයතන විසින් වගබලා ගත යුතුය.

සෞඛ්‍යාරක්ෂිත ද්‍රව්‍ය ඒවා තුළ නිතරම තිබෙන බවටත් එම වැසිකිළිවල උපාංග හොඳින් ක්‍රියාත්මක වන බවටත් ඔවුන් විසින් තහවුරු කරගත යුතුය. පුද්ගලයන් ස්පර්ශ කිරීම අවම කරන උපකරණ සවි කිරීමද ගත හැකි ක්‍රියාමාර්ගයක්ය. ඒ සඳහා motion-Sensor ඇසුරින් ක්‍රියාත්මක වන සබන් දියර ලබාගැනීමේ උපකරණ හා කරාම මෙන්ම පුද්ගලයන්ට අතින් ස්පර්ශ කර විවෘත කිරීමට හෝ වසා දැමීමට අවශ්‍ය නොවන දොරවල් සවි කළ හැකිය. එකවර බොහෝදෙනෙකු වැසිකිළිය තුළට ඇතුල් වීම වැළැක්වීමට සහ වැසිකිළිය තුළ එක පෙළට ඇති සෝදන බේසම් ආදිය එකක් හැර එකක් භාවිත කළ හැකි ආකාරයට සකස් කර සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමට සැලසුම් යෙදීමද ප්‍රයෝගිකව අනුගමනය කළ හැකි පියවරය.
(BuzzFeed News ඇසුරිනි)
එස්. දහනායක
[May28, 2020 - Gossiplankanews.com]