කොරෝනා වසංගතය පැතිරීමට පෙර විවාහ වීමට සූදානමින් සිටි ලංකාවේ යුවළක අනපේක්ෂිත තත්වය හමුවේ විවාහය වෙනුවෙන් වෙන් කළ වියදම අසරණයන්ට පරිත්‍යාග කළ සිදුවීමක් ගැන ජාත්‍යන්තර අවධානය දිනාගෙන තිබේ.
Associated Press වාර්තාවකින් මේ ගැන විස්තර ලොවට හෙළි කර තිබේ.
කොළඹට කිලෝමිටීර 160ක් දකුණින් පිහිටි මාලිම්බඩ නම් කුඩා නගරයේ දිවි ගෙවන දර්ශන කුමාර විජේනාරායන සහ ඔහු විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටි පවනි රසංගා තම විවාහ උත්සවය හරසරින් පැවැත්වීමට මාස ගණනාවක සිට සැලසුම් කර තිබෙන නමුත්
වෛරසය ශ්‍රී ලංකාවට ඇතුල් වී දින නියමයක් නොමැති අගුළු දැමීමකට මුහුණ දීමට සිදු වූ වීම ඔවුන්ගේ බලාපොරොත්තුවලට විශාල පහරක් විය.
“ඒ වෙද්දී අපි හැමදේම සැලසුම් කරලයි තිබුණේ. ඇඳුම් පැළඳුම්, මුදු සහ කේක් ඇණවුම් කර අවසන් කර තිබුණා. උත්සව ශාලාවත් වෙන් කරලා. 250 දෙනෙක්ට ආරාධනා කරන්න අපි සැලසුම් කරලා තිබුණා” දර්ශන පැවසීය.
අප්‍රියෙල් 27වෙනිදාට යෙදී තිබූ ඔවුන්ගේ විවාහ උත්සවය කල් දමන ලෙස ඔවුන්ගේ නෑදෑයන්ගෙන් සහ මිතුරන්ගෙන් මෙම යුවළට බලපෑම් එල්ල විය. නමුත් මෙම යුවළ තෝරාගත්තේ තම විවාහය කල් දමනවා වෙනුවට දුප්පතුන්ට සංග්‍රහ කර තම ආදරය සැමරීමටය.

ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වූයේ ජනවාරි මාසයේදීය. කොරෝනා වෛරසය වැළඳී තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරයක් අතරතුරදී රෝගාතුර වූ එම කාන්තාව චීන ජාතිකයෙක් වූ අතර පෙබරවාරි මාසයේදී ඇය සුව වී රෝහලෙන් පිට විය. මාර්තු මාසයේ මුල් සතිය වන තෙක් මෙම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් මහජනයා තුළ එතරම් බියක් නොතිබිණ. ශ්‍රී ලංකාව තුළ දෙවෙනි කොරෝනා ආසාදිතයාද වාර්තා වූයේ එවිටය.

මාර්තු 11 වෙනිදා නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වූ ඔහු සංචාරක මඟ පෙන්වන්නෙක්ය. මෙය බොහෝදෙනා තුළ බියක් ඇති කළ අතර පසුව පාසැල්, විශ්වවිද්‍යාල සහ බොහෝ ව්‍යාපාර වසා දැමීමට මඟ පාදන ලදි. දැනට පවතින ඇඳිරි නීතිය එක් අතකින් වෛරසය පාලනය කිරීමට දායක වී තිබෙන අතරම එදා වේල හම්බ කරගෙන ජීවත් වෙන මිනිසුන් දැඩි ආර්ථික අර්බූදයකට ලක් වීමටද හේතු වී තිබේ.

මෙම යුවළගේ විවාහ උත්සවය පැවැත්වීමට නියමිත දින උදා වන විට එම ප්‍රදේශයේ පැවති ඇඳිරි නීතිය දිවා කාලයේදී ඉවත් වූ නිසා සමාජ දුරස්ථභාවය පිළිබඳ දැඩි නීති රීති අනුගමනය කරමින් පෙර සැලසුම් කළ ලෙස තම විවාහ උත්සවය පැවැත්වීමට ඔවුන්ට ඉඩ ප්‍රස්තාව තිබිණ. නමුත් ඔවුන් තම විවාහය උත්සවය වෙනුවෙන් යෙදුවේ වෙනස්ම සැලැස්මක්ය.

කුඩා සිල්ලර වෙළඳසැලක හිමිකරුවෙක් වන 30 හැවිරිදි දර්ශන සහ රජයේ පාසැලක විද්‍යාගාර සහායිකාවක් වන 25 හැවිරිදි පවනි තීරණය කළේ යම් අවශ්‍යතාවයන්ගෙන් පෙළුණු තම අසල්වාසීන් කිහිපදෙනෙකු සමඟ ඔවුන් අතිනත ගැනීමේ ප්‍රීතිය බෙදාගැනීමටය.

සමීප මිතුරන් සහ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් විවාහය ලියාපදිංචි කළ පසුව මෙම යුවළ වෙඩිං කේක් එක කපා එකිනෙකාට කැවීම පමණක් සිදු කර තිබුණි. අනතුරුව මුඛ හා නාස් ආවරණ පැළඳගත් විජේනාරායන යුවළ බඩු මළු රැගෙන එක් එක් නිවස කරා පිටත් විය.

ඔවුන් ඒවා අසරණයින්ට බෙදාදීමට කටයුතු කරනු දක්නට ලැබුණි.ඔවුන් ගමන් කළ ලෑලි යොදා ඉදි කර තිබූ මඩ සහිත බිමක් ඇති ඇතැම් නිවෙස් එහි වැසියන්ගේ දුෂ්කර ජීවන රටාව මොනොවට කියාපෑවේය.. මනමාලිය විසින් විවිධ වර්ණවලින් යුත් හිස පළඳනා කුඩා දියණියන්ට ලබා දීමේදී ඔවුන්ගේ සහ ඔවුන්ගේ මව්වරුන්ගේ දෑස් කාන්තිමත් වනු දැකගත හැකි විය. ඔවුහූ මෙම යුවළට සතුටින් පිරි යුගදිවියක් ප්‍රාර්ථනා කළහ.
දර්ශන සහ පවනි කුඩා දරුවන්ට සෙල්ලම් කාර් පමණක් නොව ඔවුන්ගේ කේක් එකෙන් කපන ලද කොටස් පවා ලබා දුන්නෝය. ඉන්පසුව විෂබීජනාශක දියර යොදා අත් පිරිසිදු කරගෙන නිවසින් නිවසටත් ගමන් කර තිබුණි.

මින්පසුව ඔවුන්ගේ ත්‍යාගශීලීත්වය ප්‍රශංසාවට ලක් කරමින් බොහෝ දුරකතන ඇමතුම් එම යුවළට ලැබී ඇති අතර ඔවුන්ගේ නිවසට සහ වෙළඳසැලටද ස්තුති කිරීමට බොහෝ පුද්ගලයන් පැමිණ තිබේ.
“අපි කළ දෙයින් අපිට විශාල තෘප්තියක් ලැබුණා. උපකාර ලැබුණු පුද්ගලයන්ගේ, විශේෂයෙන්ම දරුවන්ගේ මුහුණු මත සිනහ මල් පිපෙනවා දකිද්දී දැනෙන සතුට විස්තර කරන්න වචන නැහැ.” දර්ශන අදහස් දැක්වුවේය.

(Associated Press ඇසුරිනි)
එස්. දහනායක

[May21, 2020 - Gossiplankanews.com]