වීසා රහිතව නීති විරෝධිව කුවේට් රටේ රැඳී සිටින සහ එරට රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් විශාල
පිරිසක් මේවනවිට කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බවත් සිවු දෙනෙක් මියගොස් ඇති බවත් කුවේට් ශ්‍රී ලංකා එකමුතු සංවිධානය පවසයි.
එරට ෆර්වානියා , අහමදි , හවාලි , ජහරා සහ කුවේට් සිටි යන ප්‍රදේශ වල රැදී සිටින ශ්‍රී
ලාංකිකයන් විශාල පිරිසක් මෙසේ කොරෝනා වෛරසයට ගොදුරු වී සිටින බවත් මේවනවිට එම පිරිසෙන්
කාන්තාවක් ඇතුළු සිවුදෙනෙකු මරණයට පත්ව ඇති බවද කුවේට් ශ්‍රී ලංකා එකමුතු සංවිධානයේ කැඳවුම්කරු
නිශාන්ත සංජීව මඩපාත මහතා ප්‍රකාශ කළේය. නීත්‍යානුකූලව එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්
අතරින් වෛරසය ආසාදනය වී ඇති බහුතරය කුලී රථ රියැදුරන් ලෙස රැකියාවල නියුතුව සිටින අය බවද කියයි .

මෙසේ රෝගාතුර වන විදේශිකයන්ට කුවේට් රජයෙන් කිසිදු සැලකිල්ලක් නොලැබෙන බවද අඩුම තරමින්
රෝගාතුර වූවන්ට ඖෂධ නොලැබෙන බවද මඩපාත මහතා පෙන්වා දුන්නේය .

මීට දින කීපයකට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත්වූ ශ්‍රී ලාංකීය කාන්තාවගේ
සැමියාට සහ දරුවන් දෙදෙනාටද වෛරසය ආසාදනය වී ඇතැයි සැක කර ඇති අතර ඔවුන් කිසිදු
පරීක්ෂාවකට ලක් නොකොට ප්‍රතිකාරයක් පවා ලබා නොදී නිවසට වී සිටින ලෙසට නියම කිරීමට තරම් එරට
නිලධාරීන් අකාරුණික වී ඇති බවටද මඩපාත මහතා පැවැසීය.

මේ ආකාරයට වෛරසයට ගොදුරු වී සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් වැඩිම පිරිස වීසා බලපත්‍ර රහිතව නීති
විරෝධි ආකාරයට කිසිදු පහසුකමක් නොමැතිව ඉතා අසරණව එරට රැඳී සිටින අය බවද , මේවනවිට ශ්‍රී
ලංකාවේ වැඩියෙන්ම වාර්තා වන කොරෝනා ආසාදිතයන් පිරිස මේ ආකාරයට කුවේට් රටේ රැඳී සිට ශ්‍රී
ලංකාවට පැමිණි පිරිස් බවද නිශාන්ත මඩපාත මහතා සඳහන් කළේය .

මේ ආකාරයට එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස මීට මාසයකට
පමණ ඉහතදී ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටි බවද එම ඉල්ලීමට අනුව එදා ඔවුන් ශ්‍රී ලංකාවට
ගෙන්වා ගත්තානම් ඔවුන් කොරෝනා වෛරසයට ගොදුරු නොවන බවද ඒ මහතා පෙන්වා දුන්නේය .

තවත් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය .
ඔවුන් නිසි ආහාරපාන පවා නොමැතිව ඉතා අසරණව සිටින බව පවසන මඩපාත මහතා තමන් ඇතුළු ශ්‍රී
ලාංකිකයන් ඔවුන්ට හැකි පමණින් උදවි කරන බවද කීය.
- ගීතාංජලී ප්‍රියදර්ශනී