කොරෝනා වෛරසය ආසාදිතවූ සේවකයින් 02 නෙකු හමුවීමේ සිදුවීමක් නිසා පසුගිය 30 වනදා සිට හොරණ, බොරළුගොඩ ආයෝජන කලාපයට අයත් කර්මාන්තශාලා 14 ක්  නිරෝධායන නීති යටතේ වසා දමා ඇතැයි
වාර්තා විය. කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මේ බව තහවුරු කළේය.

කළුතර දිස්ත්‍රික්කයේ හොරණට ආසන්න බොරළුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටා ඇති කම්හලක ආපන ශාලාවේ  ආපන ශාලාවේ සේවය කළ පරීක්ෂකවරයකුට සහ කෝකියකුට මේ ආකාරයට කොරෝනා වෛරසය ආසාදනයවූ බව වාර්තා විය. පසුගිය දිනවල සේවයට පැමිණී සේවකයින් 350ක ප්‍රමාණයක් පරීක්ෂණ කටයුතු සඳහා යොමුකිරීමටත්, ඔවුන් වෙනුවෙන් අවශ්‍ය නිරෝධායන කටයුතු ක්‍රියාත්මක කිරීමටත් තීරණය කර ඇත.

අගලවත්ත ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයකුගේ ඥාතිත්වයක් හරහා ආපන ශාලා පරික්ෂකවරයාට මෙය වැළඳෙන්නට ඇතැයි සැක කෙරේ ඔහු මේ වනවිට අයි.ඩී.එච්. රෝහල වෙත යොමුකර ඇත. ඔහු සමග තාවකාලික නවාතැනක ලැගුම් ගෙන සිටි බව කියන කෝකියාටද ඒ ඔස්සේ ආසාදනය ඇතිවන්නට ඇතැයි අනුමාන කර තිබේ.
මෙම කම්හලේ සේවය කළ කළමනාකරුවන් පිරිසක්ද නවාතැන්ගෙන සිටි ස්ථානවලම නිරෝධායනයට ලක් කරන ලද බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා දන්වා ඇත.