ඉදිරි දිනවල රට නරක අතට පත් නොවුණහොත් 11 වැනි සඳුදා සිට ඇඳිරි නීතිය ඉවත් කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක , ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (6) ප්‍රකාශ කළේය.

මේ වන විට කොළඹ, ගම්පහ,කළුතර සහ පුත්තලම යන දැඩි අවදානම් සහිත කලාපවල පවා වෛරසය පැතිරීම සිදු නොවන බව අදාළ ආයතන විසින් දැනුම්දී ඇතැයි කී ඇමැතිවරයා එම නිසා ප්‍රවාහනය, දිස්ත්‍රික් අතර හුවමාරුව, වෙළඳසල් විවෘත කිරීම ගැනද සෑම අංශයක් සමගම වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කර ඇතැයි වැඩිදුරටත් සඳහන් කළේය.

අද (7) උදෑසන රූපවාහිනී වැඩසටහනකට අන්තර්ජාලය ඔස්සේ සජීවීව එක් වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද මේ බව සඳහන් කළේය.
ඔහු සඳහන් කළේ අප රට කොරෝනා පාලනයේදී පෙරට වඩා දැන් හොද තැනක සිටින බවත් රට විවෘත කිරීමේදී “වක්කඩ කැඩුවාමෙන්”  විවෘත නොකරන බව ද ඔහු පෙන්වා දුන්නේය.